ඕස්ට්‍රේලියාව විසින් පරිත්‍යාග කරන ලද බීච්ක්‍රාෆ්ට් වර්ගයේ ගුවන් යානය ගුවන් හමුදා ගුවන්යානා ඇණියට හඳුන්වාදීමේ උත්සවය ආරක්ෂක ලේකම්වරයාගේ ප්‍රධානත්වයෙන්
දෙසැම්බර් 12, 2024ඕස්ට්‍රේලියානු රජයෙන් ශ්‍රී ලංකා ගුවන් හමුදාව වෙත පරිත්‍යාග කරන ලද Beechcraft King Air 350 වර්ගයේ ගුවන් යානය මෙරට ගුවන් හමුදා යානා ඇණිය වෙත හඳුන්වාදීමේ උත්සවය අද (දෙසැ. 12) දින රත්මලාන ගුවන් හමුදා මුලික කඳවුරේදී පැවති අතර, එහි ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස ආරක්ෂක ලේකම් එයාර් වයිස් මාර්ෂල් සම්පත් තුයියකොන්තා (විශ්‍රාමික) සහභාගි විය.
ශ්‍රී ලංකාවේ ඕස්ට්‍රේලියානු මහ කොමසාරිස් අතිගරු Paul Stephens මැතිතුමා සහ ස්වෛරී දේශසීමා සඳහා වන ඒකාබද්ධ නියෝජිතායතන කාර්ය සාධක බලකායේ ආඥාපති, රියර් අද්මිරාල් Brett Sonter ද මෙම උත්සවයට සහභාගී වූහ. පසුගියදා මෙම ගුවන් යානය ඕස්ට්‍රේලියානු රජය විසින් ශ්‍රී ලංකා ගුවන් හමුදාව වෙත නිල වශයෙන් භාරදීම සිදුකරන ලදි.
ගුවන් හමුදාපති එයාර් මාර්ෂල් උදේනි රාජපක්ෂ විසින් එම ස්ථානයට පැමිණි සම්භාවනීය අමුත්තන් පිළිගන්නා ලදි.
මෙහිදී නව ගුවන් යානය සාම්ප්‍රදායික ජල ආචාරයක් සමඟින් පිළිගනු ලැබූ අතර, අනතුරුව ශ්‍රී ලංකාවේ ඕස්ට්‍රේලියානු මහ කොමසාරිස්වරයා, රියර් අද්මිරාල් Sonter සහ ගුවන් හමුදාපති සමඟින් ආරක්ෂක ලේකම්වරයා ද ගුවන් යානය නිරීක්ෂණයට එක් විය.
මෙහිදී අදහස් දැක්වූ ආරක්ෂක ලේකම්වරයා, ශ්‍රී ලංකාවේ ජාතික ආරක්ෂාව වෙනුවෙන් ලබාදුන් මෙම සුවිශේෂී දායකත්වය වෙනුවෙන් ඕස්ට්‍රේලියානු රජයට සහ ජනතාවට සිය අවංක කෘතඥතාව පළ කළේය. තවද, මේ ඔස්සේ ශ්‍රී ලංකා ගුවන් හමුදාව සතු සමුද්‍ර ආවේක්ෂණ, නිරීක්ෂණ සහ මුදාගැනීමේ මෙහෙයුම් හැකියාවන් තවදුරටත් වර්ධනය වනු ඇති බවත්, දෙරට අතර පවතින මිත්‍රත්වය සංකේතවත් කරන බවත් ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.
“Pro Line II වර්ගයේ ගුවන්යානා ඉලෙක්ට්‍රොනික මෙහෙයුම් පද්ධතියක් සහ FLIR Star Safire HD Electro-Optical/Infrared (EO/IR) ආවේක්ෂණ පද්ධතියක් ඇතුළු අති නවීන උපකරණ වලින් මෙම යානය සමන්විත වන අතර එමඟින් අපගේ සමුද්‍රීය නිරීක්ෂණ හැකියාවන් බෙහෙවින් වැඩි දියුණු කරනු ඇත. මෙම ගුවන් යානය සතුව වැඩි කාලසීමාවක් ගුවනේ රැඳී සිටීමට පවතින හැකියාව හේතුවෙන් ශ්‍රී ලංකාව සතුව පවතින සමුද්‍ර කලාපය තුල වඩාත් ඵලදායී අන්දමින් ගුවන් නිරීක්ෂණ කටයුතු සිදුකිරීමට එමගින් ඉඩ සැලසෙනු ඇති බව මෙන්ම එමගින් වඩා හොඳ නිරීක්ෂණ හැකියාවක් ඔස්සේ ආරක්ෂාව සහතික කිරීමට හැකි වනු ඇති බවත් ආරක්ෂක ලේකම්වරයා ප්‍රකාශ කළේය.
ඔස්ට්‍රේලියාව සහ ශ්‍රී ලංකාව අතර පවතින ශක්තිමත් ද්විපාර්ශ්වික රාජ්‍යතාන්ත්‍රික සබඳතාවයේ මුලික පදනම ලෙස සැලකෙන අන්‍යොන්‍ය සහයෝගීතාව ශක්තිමත් කිරීම සහ වැඩිදියුණු කිරීම සඳහා ඕස්ට්‍රේලියානු රජයේ කැපවීමේ කොටසක් ලෙස ශ්‍රී ලංකාවට මෙම ගුවන් යානය පිරිනැමීම ඉතිහාසගත වනු ඇත.
සාගර ආශ්‍රිතව සිදුකෙරෙන මත්ද්‍රව්‍ය ජාවාරම් ඇතුළු සියලුම ආකාරයේ ජාත්‍යන්තර අපරාධවලට එරෙහිව අඛණ්ඩ සහයෝගීතාවය පවත්වා ගැනීමත්, බුද්ධි තොරතුරු හුවමාරු කර ගැනීම මගින් දේශසීමා කළමනාකරණය ශක්තිමත් කිරීමත්, දේශසීමා ආරක්ෂාව යටතට ගැනෙන මුහුදු මාර්ග ඔස්සේ පුද්ගලයින් ජාවාරම් කිරීම වැළැක්වීම, එවැනි ජාවාරම් විනාශ කිරීම, බාධා කිරීම් සහ මුදා ගැනීම සඳහා සිදු කෙරෙන මෙවැනි ස්වෛරී දේශසීමා මෙහෙයුම් සඳහා වන ශ්‍රී ලාංකික හමුදාමය හැකියාවන් ශක්තිමත් කිරීම මෙම ගුවන්යානය ලබා දීමේ ප්‍රධාන අරමුණ වේ.
ජ්‍යෙෂ්ඨ ගුවන් හමුදා නිලධාරීන්, ඔස්ට්‍රේලියානු තානාපති කාර්යාල නිලධාරීන් සහ අනෙකුත් සම්භාවනීය ආරාධිතයින් රැසක් ද මෙම අවස්ථාවට සහභාගී වූහ.
එමෙන්ම අද පෙරවරුවේ ආරක්ෂක අමාත්‍යාංශයේදී ආරක්ෂක ලේකම්වරයා ශ්‍රී ලංකාවේ ඕස්ට්‍රේලියානු මහ කොමසාරිස් අතිගරු Paul Stephens මැතිතුමා, ඔස්ට්‍රේලියානු තානාපති කාර්යාලයේ ආරක්ෂක උපදේශක කර්නල් අමන්දා ජොන්ස්ටන් සහ ස්වෛරී දේශසීමා සඳහා වන ඒකාබද්ධ නියෝජිතායතන කාර්ය සාධක බලකායේ ආඥාපති රියර් අද්මිරාල් සොන්ටර් සමඟ විශේෂ සාකච්ඡාවක් ද පැවැත්වීය.