ආරක්‍ෂක සේවා අණ හා මාණ්ඩලික විද්‍යාලයේ උපාධි ප්‍රදානෝත්සවය
නෙළුම් පොකුණ රඟහලේදී පැවැත්විණි

දෙසැම්බර් 13, 2024

ආරක්‍ෂක සේවා අණ හා මාණ්ඩලික විද්‍යාලයේ පාඨමාලා අංක 18 හි උපාධි ප්‍රදානෝත්සවය නෙළුම් පොකුණ රංග ශාලාවේ දී දෙසැම්බර් 12 දින පැවති අතර, එහි ප්‍රධාන ආරාධිතයා ලෙස ආරක්‍ෂක නියෝජ්‍ය අමාත්‍ය මේජර් ජෙනරල් අරුණ ජයසේකර (විශ්‍රාමික) සහභාගි විය.

ආරක්‍ෂක ලේකම් එයාර් වයිස් මාර්ෂල් සම්පත් තුයියකොන්තා (විශ්‍රාමික), ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානී ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා සහ යුද හා ගුවන් හමුදාපතිවරු ගෞරවනීය ආරාධිතයන් ලෙස මෙම උත්සවයට සහභාගි වූහ. ආරක්‍ෂක සේවා අණ හා මාණ්ඩලික විද්‍යාලයේ සේනාවිධායක මේජර් ජෙනරල් කපිල දොලගේ විසින් මෙම අවස්ථාවට පැමිණි සම්භාවනීය අමුත්තන් පිළිගන්නා ලදි.
 
ආරක්‍ෂක සේවා අණ හා මාණ්ඩලික විද්‍යාලයේ අංක 18 පාඨමාලාව මෙම වසරේ ජනවාරි මාසයේ ආරම්භ කරන ලද අතර, දෙසැම්බර් මාසයේදී අවසන් විය. ශ්‍රී ලංකා යුධ හමුදාවේ නිලධාරීන් 78 දෙනෙකු, ශ්‍රී ලංකා නාවික හමුදාවේ නිලධාරීන් 21 දෙනෙකු සහ ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ නිලධාරීන් 26 දෙනෙකුගෙන් සමන්විත නිලධාරීන් 150 දෙනෙකු හට මෙම උත්සවයේදී උපාධි ප්‍රදානය කරන ලදී. මීට අමතරව බංග්ලාදේශය, ඉන්දියාව, ඉන්දුනීසියාව, මාලදිවයින, මැලේසියාව, නේපාලය, පාකිස්ථානය, රුවන්ඩාව, සෞදි අරාබිය, සෙනෙගල් රාජ්‍යය, ඇමරිකා එක්සත් ජනපදය සහ සැම්බියාව යන රටවල විදෙස් නිලධාරීන් 25 දෙනෙකු ද, මෙම අවස්ථාවේදී උපාධි ලබා ගත්හ.

මෙම උත්සවයේ ප්‍රධාන ආරාධිත අමුත්තා වූ මේජර් ජෙනරල් අරුණ ජයසේකර (විශ්‍රාමික) විසින් විවිධ අධ්‍යයන ක්‍ෂේත්‍ර ඔස්සේ ‍දස්කම් දැක්වූ උපාධිධාරීන් හට ඔවුන්ට හිමි විශේෂ සම්මාන ප්‍රදානය කරන ලදී.
 
ආරක්‍ෂක සේවා අණ හා මාණ්ඩලික විද්‍යාලය ත්‍රිවිධ හමුදාවේ මධ්‍යම ශ්‍රේණියේ නිලධාරීන්ගේ හමුදාමය අධ්‍යයන කටයුතු සිදු කරනු ලබන උසස්ම අධ්‍යයන ආයතනය වන අතර, තෝරාගත් ශිෂ්‍ය නිලධාරීන්ගේ අණදීමේ සහ අනෙකුත් රාජකාරීන් සඳහා වන වෘත්තීය දැනුම සහ අවබෝධය වර්ධනය කිරීමේ අරමුණින් මෙම විද්‍යාලය පිහිටුවන ලදී. මෙමගින් ලෝකයේ වෙනත් බොහෝ සන්නද්ධ හමුදාවන් විසින් ක්‍රියාත්මක කරන ආරක්‍ෂක මූලධර්ම හා උපාය මාර්ගික මට්ටමේ සැලසුම් සහ ඉගැන්වීම් පිළිබඳ අධ්‍යයනය කිරීමට ශිෂ්‍ය නිලධාරීන් හට අවස්ථාව සලසා දෙන ලදී.
 
ආරක්‍ෂක සේවා අණ හා මාණ්ඩලික විද්‍යාලයේ කළමනාකරණ මණ්ඩලයේ සාමාජිකයින්, ආරක්‍ෂක අමාත්‍යාංශයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, ජෙනරාල් ශ්‍රීමත් ජෝන් කොතලාවල ආරක්‍ෂක විශ්වවිද්‍යාලයේ උපකුලපති, මාණ්ඩලික විද්‍යාලයේ හිටපු සේනාවිධායකවරුන්, විද්‍යාපීඨ සාමාජිකයින්, වෙනත් රටවල රාජ්‍යතාන්ත්‍රික නිලධාරීන්, ත්‍රිවිධ හමුදා ජ්‍යෙෂ්ඨ නිලධාරීන් සහ උපාධිධාරීන්ගේ පවුල්වල සාමාජිකයින්ද, මෙම උත්සවයට එක් වූහ.