මධ්‍යම අප්‍රිකානු ජනරජයේ එක්සත් ජාතීන්ගේ සාමසාධක රාජකාරීන් මෙහෙයවන
ශ්‍රී ලංකා ගුවන් හමුදා ඒකකයෙහි නව අණදෙන නිලධාරී වැඩ භාරගනී
දෙසැම්බර් 17, 2024
මධ්‍යම අප්‍රිකානු ජනරජයේ එක්සත් ජාතීන්ගේ සාමසාධක රාජකාරීන් මෙහෙයවන 10 වැනි ශ්‍රී ලංකා ගුවන් හමුදා ඒකකය මේ වසරේ දෙසැම්බර් 06 දින සිට ක්‍රියාත්මක වන පරිදි රාජකාරි සඳහා අනුයුක්ත කරන ලදී. ඒ අනුව, මධ්‍යම අප්‍රිකානු ජනරජයේ බ්‍රියා හි පිහිටි ශ්‍රී ලංකා ගුවන් හමුදා ඒකකයේ දී පසුගියදා (දෙසැ. 14) එම ඒකකයේ නව අණදෙන නිලධාරී වැඩ ගැනීම සිදු වූ බව ශ්‍රී ලංකා ගුවන් හමුදා මාධ්‍ය අංශය වාර්තා කරයි.
එහිදී 09 වන ශ්‍රී ලංකා ගුවන් හමුදා ගුවන් ඒකකයේ අණදෙන නිලධාරී ලෙස කටයුතු කල ගෲප් කැප්ටන් ආර්.එම්.ඒ.යූ. රත්නායක වෙතින් 10 වැනි ශ්‍රී ලංකා ගුවන් හමුදා ගුවන් ඒකකයේ අණදෙන නිලධාරී ලෙස, ගෘප් කැප්ටන් ඩී.යූ.ඊ. ද සිල්වා, එම ඒකකයේ පිහිටි අණදෙන නිලධාරී කාර්යාලයේදී නිල වශයෙන් වැඩ භාරගත් බව මාධ්‍ය වාර්තාවේ සඳහන් වේ.
එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් මධ්‍යම අප්‍රිකානු ජනරජයේ ක්‍රියාත්මක සාමසාධක මෙහෙයුම් සඳහා යොදවා ඇති ශ්‍රී ලංකා ගුවන් හමුදා ඒකකය, එරට විශාලතම භුමි ප්‍රදේශයක් සහිත නැගෙනහිර කොටසේ ගුවන් මෙහෙයුම් සිදුකරන අතර, භට පිරිස් ප්‍රවාහනය, හදිසි අවස්ථාවන්හිදී භට පිරිස් යෙදවීම සහ ඔවුන් මුදාගැනීම, සන්නද්ධ භටයන් සමඟ සිදු කෙරෙන ගුවන් මුර සංචාර, මෙහෙයුම් මුලස්ථානය මගින් සිදුකරනු ලබන ඉල්ලීම් මත හදිසි ප්‍රතිචාර කණ්ඩායම් ප්‍රවාහනය, ගුවන් නිරීක්ෂණ සහ මුදාගැනීමේ මෙහෙයුම්, තුවාලකරුවන් සහ රෝගීන් ප්‍රවාහන මෙහෙයුම්, බුද්ධි තොරතුරු රැස්කිරීමේ ගුවන් මෙහෙයුම්, නිරීක්ෂක/ නිරීක්ෂණ කාර්යයන් සහ ගුවන් ගිනි නිවීම් ආධාර ඇතුළු මෙහෙයුම් රාජකාරි රැසක් සිදුකරයි.