ලංකා ඛනිජ තෙල් තොග ගබඩා පර්යන්ත සමාගම ශ්‍රී ලංකා යුද හමුදාව හා එක්ව
කෙරවලපිටිය තෙල් ගබඩා පර්යන්තයේ හදිසි ගිනි නිවීම් පෙරහුරුවක් පවත්වයි
දෙසැම්බර් 17, 2024
ලංකා ඛනිජ තෙල් තොග ගබඩා පර්යන්ත සමාගම සහ ශ්‍රී ලංකා යුද හමුදාව එක්ව පසුගිය සිකුරාදා (දෙසැ. 13) දින කෙරවලපිටිය තෙල් ගබඩා පර්යන්තයේ දී ගිනි නිවීම් පෙරහුරුවක් සාර්ථකව පවත්වා ඇත. යුධ හමුදා මාධ්‍ය වාර්තා වලට අනුව, ඛනිජ තෙල් පර්යන්ත ආශ්‍රිතව ඇතිවිය හැකි හදිසි ගින්නකදී ප්‍රතිචාර දැක්වීම සඳහා වන පෙර සුදානම වර්ධනය කිරීමේ අරමුණින් ශ්‍රී ලංකා යුධ හමුදාවේ සහ ලංකා ඛනිජ තෙල් තොග ගබඩා පර්යන්ත සමාගමේ සාමුහික ප්රයත්නයක් ලෙස මෙම පෙරහුරු අභ්‍යාසය පවත්වන ලදී.
මෙහි ප්‍රධානතම අරමුණ වූයේ වඩාත් කාර්යක්ෂමව සහ ඊට සම්බන්ධව ක්‍රියාත්මක කෙරෙන ආයතනයන්හි සාමූහික ප්‍රතිචාර හැකියාවක් සහතික කරමින් තෙල් පර්යන්තයේ ඇතවිය හැකි හදිසි ගින්නක් ඵලදායි අන්දමින් මැඬලීම සඳහා අවශ්‍ය අන්තර් නියෝජිතායතන සම්බන්ධීකරණය සහ පෙර සූදානම වර්ධනය කිරීම බව යුද හමුදා මාධ්‍ය අංශය ප්‍රකාශ කරයි.
මෙම අභ්‍යාසය සඳහා සපුගස්කන්ද තෙල් පිරිපහදු පර්යන්තයට අනුබද්ධ ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ ගිනි නිවන කණ්ඩායම්, ශ්‍රී ලංකා වරාය අධිකාරිය, ශ්‍රී ලංකා ගුවන් හමුදාව, ශ්‍රී ලංකා නාවික හමුදාව, ගම්පහ සහ කොළඹ දිස්ත්‍රික් කාර්යාල යටතේ ඇති ගිනි නිවීම් ඒකක වල සාමාජිකයන් මෙන්ම, ලංකා ඛනිජ තෙල් තොග ගබඩා පර්යන්ත සමාගමට අයත් ගිනි නිවීමේ අංශයේ සාමාජිකයන් සහභාගී වූ බව හමුදා මාධ්‍ය වාර්තාවේ වැඩිදුරටත් සඳහන් වේ.