ආරක්‍ෂක අමාත්‍යංශ මහජන දිනයේදී දිවි පිදු රණවිරුවන්ගේ පවුල්වල
සාමාජිකයන්ගේ, රණක්‍ෂිතයට පත් හා විශ්‍රාමික රණවිරුවන්ගේ ගැටළු වලට විසදුම්

දෙසැම්බර් 17, 2024

රට දැය වෙනුවෙන් දිවි පිදු රණවිරුවන්ගේ පවුල්වල සාමාජිකයන්ගේ මෙන්ම, රණක්‍ෂිතයට පත් හා විශ්‍රාමික රණවිරුවන්ගේ සුභසාධන කටයුතු පිළිබඳව සොයා බැලීමට හා ඔවුන්හට පවතින ගැටලු නිරාකරණය කිරිමේ අරමුණින් ආරක්‍ෂක අමාත්‍යාංශය විසින් විශේෂ වැඩසටහන් කිහිපයක් මේවන විටත් ක්‍රියාත්මක කරනු ලබයි.

මෙම වැඩසටහන් මාලාවේ තවත් එක් වැඩසටහනක් ලෙස ආරක්‍ෂක අමාත්‍යාංශය විසින් ක්‍රියාත්මක කරන මහජන දිනය ආරක්‍ෂක ලේකම් එයාර් වයිස් මාර්ෂල් සම්පත් තුයියකොන්තා (විශ්‍රාමික) ගේ ප්‍රධානත්වයෙන් අද (දෙසැ 17) දින ආරක්‍ෂක අමාත්‍යාංශයේදී පැවැත්විණි.   

මෙදින වැඩසටහනේ දී දේශයේ නිදහස වෙනුවෙන් දිවි පිදු රණවිරු පවුල්වල සාමාජිකයින්ගේ ගැටළු සහ ක්‍රියාන්විතයේදී විවිධ ආබාධිත තත්වයන්ට පත් වූ රණවිරුවන්ගේ ඇතැම් ගැටළුවලට ආරක්‍ෂක ලේකම් එයාර් වයිස් මාර්ෂල් සම්පත් තුයියකොන්තා (විශ්‍රාමික) විසින් රජයේ චක්‍රලේඛවලට අනුව විසඳුම් ලබාදීමට අවශ්‍ය ක්‍රියාමාර්ග ගන්නා ලදි.   

තවද, අදාල පුද්ගලයන්ගේ සුභසාධනය වෙනුවෙන් පරිපාලන කටයුතු නිසියාකාරව ඉටුකිරීම සඳහා අමාත්‍යාංශ කාර්යය මණ්ඩලය වෙත මෙන්ම, ඒ හා සම්බන්ධ අනෙකුත් පාර්ශවයන් වෙත අවශ්‍ය උපදෙස් ලබාදීම ද, මෙහිදී සිදුකරන ලදි.

රජයේ ප්‍රතිපත්තිවලට අනුව  ක්‍රියාන්විතයේදී ජිවිත පුද කල රණවිරුවන්ගේ පවුල්වල සාමාජිකයන්ට සහ රණක්‍ෂිතයට පත් රණවිරුවන්ට මෙන්ම, විශ්‍රාමික හමුදා සාමාජිකයන්ගේ ජීවන රටාව සුවපහසු කිරීමටත්, ඔවුනගේ චිත්ත ධෛර්යය ශක්තිමත් කීරීමත්, අරමුණු කරගනිමින් හා ඔවුන් වෙත කෘතගුණ දැක්වීම සඳහා ආරක්‍ෂක අමාත්‍යාංශය විසින් මෙම වැඩසටහන් ක්‍රියාත්මක කරනු ලබයි.