‘ජාතික සුරක්ෂිත දිනය’ සුනාමි ව්‍යසනයෙන් වසර විස්සක් සපිරෙන දින සැමරේ

දෙසැම්බර් 26, 2024

2004 වර්ෂයේදී ශ්‍රී ලාංකිකයන්ගේ ජීවිත 35,000 කට අධික පිරිසක් බිලිගත් මෙරට සිදු වූ විශාලතම ස්වභාවික ව්‍යසනය ලෙස සැලකෙන සුනාමි ව්‍යසනය සිදු වී වසර 20ක් ගතවූ අද (දෙසැ 26) ‘ජාතික සුරක්ෂිත දිනය’ සැමරුම් වැඩසටහන ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ දී පවත්වනු ලැබීය.

නියෝජ්‍ය ආරක්‍ෂක අමාත්‍ය මේජර් ජෙනරල් අරුණ ජයසේකර (විශ්‍රාමික), ආරක්‍ෂක ලේකම් එයාර් වයිස් මාර්ෂල් සම්පත් තුයියකොන්තා (විශ්‍රාමික) සහ ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් පිරිසක් ද මෙම අවස්ථාවට සහභාගි වූහ.
 
පැරෑලිය සුනාමි ස්මාරකය අභියස පැවති සැමරුම් වැඩසටහන මෙන්ම දිවයින පුරා රාජ්‍ය සහ පෞද්ගලික අංශයේ ආයතන රැසක් ඇතුළුව ශ්‍රී ලාංකිකයන් රැසක් මෙම ස්වභාවික උවදුර හේතුවෙන් දිවි අහිමි වූ තම සහෘදයන් සිහිපත් කිරීම සඳහා සමරුම් වැඩසටහන් පවත්වන ලදී.  2004 වර්ෂයේ දෙසැම්බර් 26 ඉරිදා දින පෙරවරුවේ සිදුවූ මෙම ස්වාභාවික විපතෙන් ජීවිත අහිමි වූවන් සිහි කිරීමේ අරමුණින් මොහොතක නිශ්ශබ්දතාවයක් ආරක්‍ෂා කිරීම අද පෙරවරු 9.25 සිට 9.27 දක්වා දිවයින පුරා සිදුකරන ලදී.

අහිමි වූ ජීවිත පුනරාවර්ජනය කිරීමක් පමණක් නොව, ඕනෑම අවස්ථාවක ඇතිවිය හැකි ආපදා තත්වයකට ඔරොත්තු දීම සඳහා අප සතු විය යුතු පෙර සූදානමේ සහ ඔරොත්තු දීමේ හැකියාවන්හි වැදගත්කම සිහිපත් කෙරෙන අවස්ථාවක් ලෙස ද අද දින පැවති මෙම සැමරුම සටහන් වනු ඇත.