ශ්‍රී ලංකා නාවික හමුදාවේ නව හමුදාධිපතිවරයා ලෙස
වයිස් අද්මිරාල් කාංචන බානගොඩ පත් කෙරේ
දෙසැම්බර් 30, 2024
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ජනාධිපති සහ සන්නද්ධ හමුදා සේනාධිනායක අතිගරු අනුර කුමාර දිසානායක මැතිතුමා විසින් 26 වන ශ්‍රී ලංකා නාවික හමුදාධිපති ලෙස රියර් අද්මිරාල් බීඒකේඑස්පී බානගොඩ පත් කරන ලදි.
බණ්ඩාරවෙල ශාන්ත තෝමස් විද්‍යාලයේ දීප්තිමත් ආදි ශිෂ්‍යයෙකු වන වයිස් අද්මිරාල් කාංචන බානගොඩ, 1989 වර්ෂයේදී 19 වන කැඩෙට් නිලධාරීන් බඳවා ගැනීම යටතේ කැඩෙට් නිලධාරියෙකු ලෙස ශ්‍රී ලංකා නාවික හමුදාවේ විධායක අංශයට එක්ව සිය කීර්තිමත් නාවික හමුදා දිවිය ආරම්භ කළේය. ත්‍රීකුණාමලය නාවික හා සාගරික විද්‍යාපීඨයෙන් සහ එක්සත් රාජධානියේ Dartmouth හි රාජකීය නාවික විද්‍යාපීඨයෙන් මූලික පුහුණුව සාර්ථකව අවසන් කිරීමෙන් පසු 1991 වසරේ දී ඔහු උප ලුතිනන්වරයෙකු වශයෙන් අධිකාරී ලත් නිලධාරියෙකු වශයෙන් පත් කරනු ලැබීය.
සිය වෘත්තීය ජීවිතය පුරාවට තම විශේෂඥතාව ඉහළ නැංවීම සඳහා වයිස් අද්මිරාල් බානාගොඩ විසින් විවිධ ක්ෂේත්‍ර ඔස්සේ උසස් පුහුණුවක් හා අධ්‍යාපනයක් ලබා ගැනීමට කටයුතු කළේය. සිය උප ලුතිනන් තාක්ෂණික පාඨමාලාව 1993 වර්ෂයේදී ත්‍රීකුණාමලය නාවික හා සාගරික විද්‍යා පීඨයේදී සාර්ථකව සම්පූර්ණ කළ ඔහු 2000 වර්ෂයේදී ඉන්දීය නාවික නෞකා වෙන්දුර්ති හි පිහිටි නාවික සංග්‍රාමික පුහුණු පාසල වෙතින් සබ්මැරීන් නාශක යුධෝපක්‍රම පිළිබඳ විශේෂඥ පුහුණුවක් ලැබිය. 2009 වර්ෂයේදී බංගලාදේශ අණ හා මාණ්ඩලික විද්‍යාලයෙන් අණ හා මාණ්ඩලික පාඨමාලාව සාර්ථකව සම්පූර්ණ කරන ඔහු, 2015 වර්ෂයේදී ශ්‍රී ලංකා විවෘත විශ්වවිද්‍යාලය වෙතින් ව්‍යාපාර පරිපාලන ශාස්ත්‍රපති (මානව සම්පත් කලමණාකරනය) උපාධියද, 2019 වර්ෂයේදී ඕස්ට්‍රේලියාවේ Wollongong විශ්ව විද්‍යාලයෙන් සමුද්‍රීය ප්‍රතිපත්ති පිළිබඳ ශාස්ත්‍රපති උපාධියද ලබා ඇති අතර, 2021 වර්ෂයේදී ජාතික ආරක්ෂක හා උපායමාර්ගික අධ්‍යන පාඨමාලාව, කොළඹ ජාතික ආරක්ෂක විද්‍යායතනයෙන් සාර්ථකව සම්පුර්ණ කරමින් ජ්‍යෙෂ්ඨ හමුදා නිලධාරියෙකු ලෙස ඔහුගේ දැනුම සහ උපාය මාර්ගික ප්‍රවීණත්වය වැඩි දියුණු කර ගැනීමට කටයුතු කළේය.
දශක තුනක් පුරාවට මෙරට පැවති ත්‍රස්තවාදය පිටුදැකීමේ ක්‍රියාන්විත මෙහෙයුම් සඳහා සක්‍රීයව දායක වෙමින් සතුරාට එරෙහිව සිදුකල නිර්භීත ක්‍රියා වෙනුවෙන් රණශූර පදක්කමෙන් පිදුම් ලබා ඇති වයිස් අද්මිරාල් කාංචන බානගොඩ, ජාතිය වෙනුවෙන් සිදු කරනු ලබන උදාර සේවය, නොකැළැල් චරිතය සහ රාජකාරියට කැපවීම වෙනුවෙන් පිදෙන උත්තම සේවා පදක්කමෙන්ද පිදුම් ලබා ඇත.
තම සේවා කාලය තුළ ශ්‍රී ලංකා නාවික හමුදාවේ විවිධ නිලතල රාශියක කටයුතු කොට ඇති ඔහු, වේග ප්‍රහාරක මුර යාත්‍රා, නෞකා සහ ආයතනයන්හි අණදෙන නිලධාරී වශයෙන් අවස්ථා කිහිපයකදී රාජකාරී සිදුකොට ඇත. තවද, අධ්යක්ෂ නාවික පුහුණු, ගිණිකොණ නාවික විධාන භාර ආඥාපති, උතුරු මැද නාවික විධාන භාර ආඥාපති, උතුරු නාවික විධාන භාර ආඥාපති සහ නැගෙනහිර නාවික විධාන භාර ආඥාපති ලෙස කටයුතු කර ඇති වයිස් අද්මිරාල් කාංචන බානගොඩ, නාවික හමුදාපතිවරයා වශයෙන් පත් වීමට පෙර නාවික හමුදා මාණ්ඩලික ප්‍රධානී වශයෙන් කටයුතු කල, කීර්තිමත් ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකි.
වයිස් අද්මිරාල් බානගොඩ, අනූෂා බානගොඩ මහත්මිය සමඟ විවාහ වී සිටින අතර, අමාවි බානගොඩ සහ හිමෙත් බානගොඩ ඔවුන් දෙපලගේ දරු දෙදෙනා වේ.