නව ශ්‍රී ලංකා යුද්ධ හමුදාධිපති ලෙස ලුතිනන් ජෙනරල් ලසන්ත රොද්‍රිගෝ පත් කෙරේ
දෙසැම්බර් 30, 2024ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ජනාධිපති සහ සන්නද්ධ හමුදා සේනාධිනායක අතිගරු අනුර කුමාර දිසානායක මැතිතුමා විසින් ශ්‍රී ලංකා යුද හමුදාවේ 25 වැනි යුද්ධ හමුදාධිපතිවරයා ලෙස ලුතිනන් ජෙනරල් ලසන්ත රොද්‍රිගෝ පත් කරන ලදි.
කොළඹ ශාන්ත බෙනඩික්ට් විද්‍යාලයේ කීර්තිමත් ආදි ශිෂ්‍යයෙකු වන ලුතිනන් ජෙනරල් රොද්‍රිගෝ, 1989 වසරේ කැඩෙට් නිලධාරියෙකු ලෙස ශ්‍රී ලංකා යුද්ධ හමුදාවට සම්බන්ධ වෙමින් සිය අභිමානවත් හමුදා දිවිය ආරම්භ කළේය. දියතලාව ශ්‍රී ලංකා යුද හමුදා විද්‍යාපීඨයෙන් සහ ඉන්දියාවේ දෙහෙරාදුන් හි ඉන්දීය හමුදා විද්‍යාපීඨයෙන් මූලික පුහුණුව ලැබීමෙන් අනතුරුව, 1990 වර්ෂයේදී ඔහු ශ්‍රී ලංකා කාලතුවක්කු රෙජිමේන්තුවේ දෙවන ලුතිනන්වරයෙකු වශයෙන් අධිකාරීයට පත්කරනු ලැබීය.
ලුතිනන් ජෙනරල් රොද්‍රිගෝ, හමුදා දිවිය තුළ තම සුවිශේෂී හැකියාවන් තවදුරටත් වර්ධනය කරගැනීමේ අරමුණින් විවිධ විෂයන් ඔස්සේ වූ උසස් පාඨමාලා කිහිපයක් හදාරා ඇත. අවි (ක්ෂේත්‍ර) සඳහා වන උසස් පාඨමාලාව, දිගුදුර අවි සඳහා වන මාණ්ඩලික පාඨමාලාව, ඉන්දියාවේ Higher Defence Orientation පාඨමාලාව සහ චීනයේ කාලතුවක්කු බලඇණි අණදෙන පාඨමාලාව යන පාඨමාලාවන් ඒ අතර වේ.
තවද, ඔහු ඇමරිකා එක්සත් ජනපදයේ වොෂින්ටන් හි ජාතික ආරක්ෂක විශ්වවිද්‍යාලයෙන් උපාය මාර්ගික ආරක්ෂක අධ්‍යයනය පිළිබඳ ශාස්ත්‍රපති උපාධියක් ද, ජෙනරාල් ශ්‍රීමත් ජෝන් කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයෙන් ආරක්ෂක සහ උපායමාර්ගික අධ්‍යයනය පිළිබඳ ශාස්ත්‍රපති උපාධියක් ද ලබා ඇත. මීට අමතරව, ඔහු ශ්‍රී ලංකාවේ යුධ හමුදා අණ හා මාණ්ඩලික විද්‍යාලයේ (වත්මන් ආරක්ෂක සේවා අණ හා මාණ්ඩලික විද්‍යාලය) උපාධිධාරියෙකු ද වේ.
කීර්තිමත් සේවා ඉතිහාසයක් සහිත දක්ෂ යුද්ධ හමුදා නිලධාරියෙකු වශයෙන් ලුතිනන් ජෙනරල් රොද්‍රිගෝ යුද්ධ හමුදාවේ විවිධ තනතුරු හොබවමින් රාජකාරි කර ඇති අතර, කුරිරු ත්රස්තවාදීන්ට එරෙහිව සිදුකල මෙහෙයුම්වලට සෘජුවම සම්බන්ධ වී සිටියදී එල්ටීටීඊ ප්‍රහාර හමුවේ තෙවරක් තුවාල ලබා ඇත. ඔහු සතුරා ඉදිරියේ අභීතව සිදුකල නිර්භීත ක්‍රියා ඇගයීම වෙනුවෙන් ඔහුට රණ සූර පදක්කම පිරිනමා ඇත.
තම සේවා කාලය තුළ ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ විවිධ තනතුරු රාශියක් හොබවමින් කටයුතු කොට ඇති ඔහු, ශ්‍රී ලංකා කාලතුවක්කු හමුදාවේ 18 වන රෙජිමේන්තුවේ අණදෙන නිලධාරි, 661 වන පාබල බලසේනාධිපති, 663 වන පාබල බලසේනාධිපති සහ පුනරීන් හි පිහිටුවා තිබූ 66 වන පාබල සේනාංකයේ සේනාංකාධිපති ඇතුළු ප්‍රධාන නිලතල කිහිපයක් හොබවමින් සේවය කොට ඇත. මීට අමතරව, ඔහු මධ්‍යම ආරක්ෂක සේනා ආඥාපති සහ ශ්‍රී ලංකා යුද හමුදා ස්වේච්ඡා බල සේනාවේ සේනාවිධායක මෙන්ම ශ්‍රී ලංකා කාලතුවක්කු රෙජිමේන්තුවේ කර්නල් සේනාවිධායක ලෙසද කටයුතු කර ඇත.
තවද, ශ්‍රී ලංකා යුද්ධ හමුදා මූලස්ථානයේ අධ්යක්ෂ විදෙස් මෙහෙයුම් තනතුර දරා ඇති මෙම ජ්‍යෙෂ්ඨ නිලධාරි ආරක්ෂක සේවා අණ හා මාණ්ඩලික විද්‍යාලයේ සේනාවිධායක ලෙසද කටයුතු කළේය. ලුතිනන් ජෙනරල් රොද්‍රිගෝ යුද්ධ හමුදාධිපති වශයෙන් පත්වීමට පෙර, ශ්‍රී ලංකා යුද හමුදාවේ නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධානි ලෙස කටයුතු කළේය.
ස්වෙන්ද්‍රිනී රොද්‍රිගෝ මහත්මිය සමඟ විවාහ වී සිටින අතර, ඔවුන්හට පුතෙකු සහ දියණියන් දෙදෙනෙකු සිටී.