ජාතික ජල ශාස්ත්‍රීය කාර්යාල සේවාවන් සංවර්ධනය කිරීම පිළිබඳ
නියෝජ්‍ය ආරක්‍ෂක අමාත්‍යවරයාගේ අවධානයට

දෙසැම්බර් 31, 2024

ශ්‍රී ලංකා ජාතික ජල ශාස්ත්‍රීය කාර්යාලය සංවර්ධනය කිරීම සඳහා වන අවශ්‍යතාවන් පිළිබඳ සාකච්ජාවක් නියෝජ්‍ය ආරක්‍ෂක අමාත්‍ය මේජර් ජෙනරල් අරුණ ජයසේකර (විශ්‍රාමික) ගේ ප්‍රධානත්වයෙන් අද (දෙසැ 31) දින නියෝජ්‍ය ආරක්‍ෂක අමාත්‍ය කාර්යාලයේදී පැවැත්විණ. ආරක්‍ෂක අමාත්‍යාංශයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, රියර් අද්මිරාල් සිසිර ජයකොඩි (විශ්‍රාමික), රියර් අද්මිරාල් කෝසල වර්ණකුලසූරිය සහ ශ්‍රී ලංකා ජාතික ජල ශාස්ත්‍රීය කාර්යාලයේ නිලධාරීන් පිරිසක් මෙම රැස්වීමට සහභාගී වූ අතර, ජාතික ජල ශාස්ත්‍රීය කාර්යාලයෙහි මෙහෙයුම් කාර්යක්‍ෂමතාව ඉහළ නැංවීම සඳහා ගතයුතු ක්‍රියාමාර්ග කෙරෙහි මෙහිදී අවධානය යොමු කරන ලදි.

එහිදී රියර් අද්මිරාල් වර්ණකුලසූරිය විසින් ජාතික ආරක්‍ෂාව, ආර්ථික ප්‍රතිලාභ සහ සමුද්‍රීය ආරක්‍ෂාව සම්බන්ධයෙන් සැලකීමේදී ජල ශාස්ත්‍රය කෙරෙහි අවධානය යොමු කිරීමේ වැදගත්කම පිළිබඳ ඉදිරිපත් කිරීමක් සිදුකල අතර, ජාතික ජල ශාස්ත්‍රීය කාර්යාලය මේ දක්වා අත් කරගෙන තිබෙන ප්‍රගතිය සහ එක්සත් රාජධානියේ ජාතික ජල ශාස්ත්‍රීය කාර්යාලය සමඟ සහයෝගීතාව වර්ධනය කරගැනීම සඳහා ඇති අවස්ථා පිළිබඳවද විස්තර කළේය. තවද, එම ආයතනයේ හැකියාවන් තවදුරටත් වර්ධනය කිරීම සඳහා අඛණ්ඩ පුහුණුවීම්, ආයතනය සතු ධාරිතාවන් හා ශක්‍යතාවන් ගොඩනැගීම මෙන්ම දැනට පවතින උපකරණ හිඟය පිළිබඳ කරුණු දක්වමින් ඒ සඳහා ජාත්‍යන්තර සහාය ලබා ගැනීමේ අවශ්‍යතාව පිළිබඳව ද අවධාරණය කළේය.

රටේ සංවර්ධනය හා ආරක්‍ෂාව වෙනුවෙන් ජල ශාස්ත්‍රීය මුලපිරීම්වලට ප්‍රමුඛත්වය දීමත්, ඒ ඔස්සේ ජාතික අරමුණු සපුරාලීම සඳහා අදාළ ක්‍රියාකාරකම් කාර්යක්‍ෂමව නියාමනය කිරීම සහතික කිරීමත් වෙනුවෙන් වර්ෂ 2024 ජාතික ජලවිද්‍යාත්මක පනත යටතේ ස්ථාපිත ජාතික ජල ශාස්ත්‍රීය කාර්යාලය වෙත උපරිම සහාය දැක්වීම සඳහා ආරක්‍ෂක අමාත්‍යාංශයේ කැපවීම මේ ඔස්සේ ආරක්‍ෂක නියෝජ්‍ය අමාත්‍යවරයා යළිත් තහවුරු කළේය.