නව නාවික හමුදාපතිවරයා නියෝජ්‍ය ආරක්‍ෂක අමාත්‍යවරයා හමුවෙයි

ජනවාරී 02, 2025

ශ්‍රී ලංකා නාවික හමුදාවට අභිනවයෙන් පත් වූ නාවික හමුදාපති වයිස් අද්මිරාල් කාංචන බානගොඩ අද (ජනවාරි 02) නියෝජ්‍ය ආරක්‍ෂක අමාත්‍ය මේජර් ජෙනරල් අරුණ ජයසේකර (විශ්‍රාමික) ඔහුගේ කාර්යාලයේදී හමුවිය. 26 වන නාවික හමුදාපතිවරයා ලෙස වයිස් අද්මිරාල් බානගොඩ පත් වීමෙන් පසු නියෝජ්‍ය ආරක්‍ෂක අමාත්‍යවරයා සමඟ පවත්වන ලද පළමු නිල හමුව මෙය වේ.

මෙම හමුවේදී නියෝජ්‍ය ආරක්‍ෂක අමාත්‍යවරයා වයිස් අද්මිරාල් බානගොඩගේ පත්වීම පිළිබඳව සිය සුබපැතුම් පළ කළ අතර, ඔහුගේ නායකත්වය යටතේ නාවික හමුදාව සඳහා ප්‍රධාන ප්‍රමුඛතා කිහිපයක් පිළිබඳව ද අවධාරණය කළේය. මෙම ප්‍රමුඛතාවයන් පාලනයේ සහ වගවීමේ ඉහළම ප්‍රමිතීන්ට අනුගත වෙමින් මෙහෙයුම් විශිෂ්ටත්වය පවත්වා ගැනීම කෙරෙහි අවධානය මෙහිදී යොමු කරන ලදි.

සමුද්‍රීය ආරක්‍ෂාව සම්බන්ධයෙන් ශ්‍රී ලංකා නාවික හමුදාවට අත්‍යවශ්‍ය කාර්යභාරයක් ඉටු කිරීම සඳහා සහය දැක්වීම සඳහා ආරක්‍ෂක අමාත්‍යාංශයේ දැඩි කැපවීම මෙම හමුවේදී අවධාරණය කරන ලද අතර, යහපාලනය, රාජ්‍ය මූල්‍ය වගකීම සහ නාවික හමුදාවේ සේවය කරන ලද සහ වර්තමාන සාමාජිකයින්ගේ සුභසාධන කටයුතුවල වැදගත්කම ද අවධාරණය කරන ලදි.