ලොව ප්‍රමුඛ ජාත්‍යන්තර න්‍යෂ්ටික පරීක්‍ෂණ තහනම් අභ්‍යාසයක් සඳහා
ශ්‍රී ලංකාව සත්කාරකත්වය සපයයි

ජනවාරී 03, 2025

විස්තීරණ න්‍යෂ්ටික පරීක්‍ෂණ තහනම් ගිවිසුම් සංවිධානය යටතේ මෙම වසර සඳහා සැලසුම් කර ඇති ඒකාබද්ධ ක්ෂේත්‍ර අභ්‍යාසය ශ්‍රී ලංකාවේ පැවැත්වීම සඳහා පවතින යෝග්‍යතාව සොයාබැලීම සඳහා අවශ්‍ය ක්ෂේත්‍ර පරික්‍ෂාව ඉදිරියේදී පැවැත්වීමට සැලසුම් කොට ඇත. මෙම අභ්‍යාසය ඔස්සේ ශ්‍රී ලංකාවට සැලකිය යුතු ආර්ථික සහ රාජ්‍ය තාන්ත්‍රික ප්‍රතිලාභ ලැබෙනු ඇතැයි අපේක්‍ෂා කෙරේ.

ඒ සඳහා අවශ්‍ය පුර්ව සුදානම පිලිබඳ සාකච්ඡා කිරීමේ අරමුණින් නියෝජ්‍ය ආරක්‍ෂක අමාත්‍ය මේජර් ජෙනරල් අරුණ ජයසේකර (විශ්‍රාමික) ගේ ප්‍රධානත්වයෙන් සහ ආරක්‍ෂක අමාත්‍යාංශයේ අතිරේක ලේකම් - ආරක්‍ෂක ඇතුළු අනෙකුත් ජ්‍යෙෂ්ඨ නිලධාරීන්ගේ සහභාගිත්වයෙන් පසුගියදා (ජනවාරි 02) සාකච්ඡාවක් පැවැත්විණි.

මෙම අභ්‍යාසය සඳහා ජාත්‍යන්තර පාර්ශ්වකරුවන් විශාල ප්‍රමාණයක් ආකර්ෂණය කර ගැනීමට සහ ඒ ඔස්සේ යුරෝ මිලියන 10 කට අධික ආදායමක් උපයා ගත හැකි වනු ඇති බව අපේක්‍ෂා කෙරේ. එලෙස විශාල ජාත්‍යන්තර පුද්ගල හා ආයතනික සහභාගීත්වයක් තුලින් දේශීය ආර්ථිකය නංවාලීමට සවියක් වීම පමණක් නොව අන්තර්ජාතික වශයෙන් වැදගත් වි‌ශේෂ අවස්ථාවන් සංවිධානය කිරීමට ශ්‍රී ලංකාවට ඇති හැකියාව පිළිබඳව ද අවධාරණය කරනු ඇත.

ඒකාබද්ධ ක්ෂේත්‍ර අභ්‍යාසය සඳහා සත්කාරකත්වය දැක්වීමෙන්, ගෝලීය නිරායුධකරණය වෙනුවෙන් සිදු කෙරෙන මුලපිරීම්වල සාධනීය වර්ධනය මෙන්ම ජාත්‍යන්තර ආරක්‍ෂාව හා ආයුධ පාලන ප්‍රයත්නයන් පෝෂණය කිරීමට ශ්‍රී ලංකාවේ කැපවීම යලිත් තහවුරු කරනු ලබයි.