ශ්‍රී ලංකා නාවික හමුදා කැඩෙට් නිලධාරියෙකු පාකිස්ථාන නාවික හමුදා විද්‍යාපීඨයේ
දක්‍ෂතම කැඩෙට් නිලධාරියාට හිමි ගෞරවනීය අසිපත හිමි කරගනී

ජනවාරී 05, 2025

පාකිස්තානයේ කරච්චි නුවර පිහිටි පාකිස්ථාන නාවික හමුදා විද්‍යාපීඨයේ 122 වන මධ්‍ය නිලධාරී පාඨමාලාවේ සහ 30 වන කෙටි සේවා නිලධාරී පාඨමාලාවේ විසිරයාමේ හා අධිකාරියට පත් කිරීමේ පෙළපාලියේදී ශ්‍රී ලංකා නාවික හමුදාවේ මධ්‍ය නිලධාරී විමුක්ති තෙන්නකෝන් එම පාඨමාලාවේ දක්‍ෂතම නිලධාරියාට හිමි ගෞරවනීය අසිපත හිමිකර ගැනීමට සමත්විය.

ඉතා උත්කර්ෂවත් අන්දමින් පැවති මෙම උත්සවයේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස පාකිස්ථාන ගුවන් හමුදා ප්‍රධානී එයාර් චීෆ් මාර්ෂල් Zaheer Ahmed Baber Sidhu සහභාගී විය.

පාකිස්ථාන නාවික හමුදා විද්‍යාපීඨ ඉතිහාසයේ මෙම අසිපතට හිමිකම් කී විශිෂ්ඨයන් අතුරින් තෝරාගත් මිත්‍ර රටවලින් පාඨමාලා සඳහා පැමිණි කැඩෙට් නිලධාරින්ගෙන් ඉතාම සුළු සංඛ්‍යවකට පමණක් තම නම සටහන් තැබීමට හැකි වී ඇති අතර, කුරුණෑගල ශාන්ත ආනා විද්‍යාලයේ කීර්තිමත් ආදි ශිෂ්‍යයෙකුද වන මධ්‍ය නිලධාරී තෙන්නකෝන් විසින් ලබාගත් මෙම විශිෂ්ට ජයග්‍රහණය දුර්ලභ අවස්ථාවකි.

1970 දී ආරම්භ කරන ලද, පාකිස්ථාන නාවික හමුදා විද්‍යාපීඨය, එරට නුතන තාක්‍ෂණික වශයෙන් වඩාත්ම දියුණු හමුදා පුහුණු ආයතනයක් ලෙස පිළිගැනේ. එමගින් නිලධාරීන් හට වෘත්තීය අධ්‍යයන උපාධි පිරිනමන අතරම ඉහළ දක්‍ෂතාවන්ගෙන් පරිපුර්ණ නාවික නිලධාරීන් බිහිකිරීමේදී ඇමරිකා එක්සත් ජනපදයේ ඇනාපොලිස් හි ඇමරිකා එක්සත් ජනපද නාවික විද්‍යාපීටයේ කාර්යභාරයට සමාන සුවිශාල කාර්යභාරයක් ඉටු කරයි.

මධ්‍ය නිලධාරී තෙන්නකෝන්ගේ මෙම විශිෂ්ට ජයග්‍රහණය වෙනුවෙන් ආරක්‍ෂක අමාත්‍යාංශය සිය හෘදයාංගම සුබ පැතුම්  පලකර සිටී.