පාකිස්තාන මහ කොමසාරිස්වරයා නියෝජ්‍ය ආරක්‍ෂක අමාත්‍යවරයා හමුවෙයි

ජනවාරී 08, 2025

ශ්‍රී ලංකාවේ පාකිස්තාන මහ කොමසාරිස් අතිගරු මේජර් ජෙනරල් Faheem Ul Aziz (විශ්‍රාමික) ජනවාරි 06 වන දින නියෝජ්‍ය ආරක්‍ෂක අමාත්‍ය මේජර් ජෙනරල් අරුණ ජයසේකර (විශ්‍රාමික) කොළඹ පිහිටි අමාත්‍යවරයාගේ කාර්යාලයේදී හමුවිය.

ශ්‍රී ලංකා ත්‍රිවිධ හමුදාව වත්මන් සහ අනාගත ආරක්‍ෂක අභියෝගවලට මුහුණ දීම සඳහා සූදානම් කිරීම අරමුණු කර ගනිමින් ශ්‍රී ලංකා සන්නද්ධ හමුදාවන්හී පුහුණු අවස්ථා වැඩි දියුණු කිරීම ඇතුළු අන්‍යෝන්‍ය වශයෙන් වැදගත් වන ප්‍රධාන ක්ෂේත්‍ර කිහිපයක් පිළිබඳව පාකිස්තාන මහ කොමසාරිස්වරයා සහ නියෝජ්‍ය අමාත්‍යවරයා අතර, සුහද සාකච්ඡාවක් පැවැත්විණි.
 
මෙහිදී පාකිස්තානයේ තාක්‍ෂණික සහාය සහ විශේෂඥ දැනුම හරහා ශ්‍රී ලංකාවේ නීතිය ක්‍රියාත්මක කරන ආයතන විසින් මත්ද්‍රව්‍ය විරෝධී ප්‍රයත්නයන්ට එරෙහිව සටන් කිරීමේ හැකියාවන් වැඩිදියුණු කිරීමේ හැකියාව ගවේෂණය කිරීම මෙන්ම, ත්‍රස්තවාදයට එරෙහි විශේෂඥ දැනුම උපයෝගී කර ගනිමින් සමාජ අනාරක්‍ෂිතභාවයට එරෙහිව සටන් කිරීමට සහයෝගීව කටයුතු කිරීම වැනි මාතෘකා සාකච්චාවට භාජනය විය.

තවද, දෙරට අතර දීර්ඝ කාලීන සහයෝගීතාවය සහ මිත්‍ර සබඳතා පිළිබඳව නියෝජ්‍ය අමාත්‍යවරයා පාකිස්තාන මහ කොමසාරිස්වරයා වෙත සිය ප්‍රසාදය පළ කළේය. අඛණ්ඩ සහයෝගීතාවය සහ හවුල්කාරිත්වය සඳහා දෙරටේ කැපවීම මෙම රැස්වීමේදී පිළිබිඹු විය.