එක්සත් ජාතීන්ගේ ශ්‍රී ලංකාවේ නේවාසික සම්බන්ධීකාරක
වැඩබලන ආරක්‍ෂක අමාත්‍යවරයා හමුවෙයි

ජනවාරී 16, 2025

වැඩබලන ආරක්‍ෂක අමාත්‍ය මේජර් ජෙනරල් අරුණ ජයසේකර (විශ්‍රාමික) බදාදා (ජන 15) ශ්‍රී ලංකාව සඳහා වන එක්සත් ජාතීන්ගේ නේවාසික සම්බන්ධීකාරක Marc-André Franche සමඟ හමුවක් කොලඹ පිහිටි අමාත්‍ය කාර්යාලයේදී පවත්වන ලදි.

හවුල්කාරිත්වය පිළිබඳ අදහස් හුවමාරු කර ගැනීමට සහ ශ්‍රී ලංකා රජය සහ එක්සත් ජාතීන්ගේ සංවිධානය අතර පවතින සහයෝගීතාව සඳහා අන්තර්සම්බන්දිත ක්ෂේත්‍ර ගවේෂණය කිරීම සඳහා වන වේදිකාවක් ලෙස මෙම හමුව වැදගත් වේ. නව රජය යටතේ එක්සත් ජාතීන්ගේ සාම සාධක රාජකාරීන් සදහා පිටත් කර හරින භටයින්ගේ සංඛ්‍යාව වැඩි කර ගැනීම සඳහා ඇති අවස්ථාවන් ප්‍රමාණය වැඩිකර ගැනීමට දේශපාලනික සංවාදයක වැදගත්කම, එක්සත් ජාතීන්ගේ සාම සාධක මෙහෙයුම් සඳහා බහු නිපුණතා/විශේෂ මෙහෙයුම් බලකා යෙදවීමට ඇති අවස්ථා ගවේෂණය කිරීම මෙන්ම ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය, ජාතික ආපදා සහන සේවා මධ්‍යස්ථානය සහ ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය වැනි අදාළ ආයතන ඒකාබද්ධ කරමින් අණ සහ පාලන හැකියාවන් වැඩි දියුණු කිරීමේ වැදගත්කම සහ ඵලදායී සහ කාර්යක්ෂම හදිසි ප්‍රතිචාරයක් සහතික කිරීම සඳහා විශේෂඥ මගපෙන්වීම මගින් පවතින ආපදා කළමනාකරණ පද්ධතිය සමාලෝචනය කිරීම වැනි වැදගත් කරුණු කිහිපයක් මෙම සාකච්ඡාවේදී ඉස්මතු විය.

එපමණක් නොව, ශ්‍රී ලංකාව සහ එක්සත් ජාතීන්ගේ සංවිධානය අතර දිගුකාලීන හවුල්කාරිත්වයේ වැදගත්කම වැඩබලන ආරක්‍ෂක අමාත්‍යවරයා අවධාරණය කළ අතර, එහි ජාතික වර්ධනය සහ සංවර්ධනය කෙරෙහි එහි වැදගත්කමද මෙම අවස්ථාවේ අවධාරණය කළේය.