අලි මිනිස් ගැටුමට ස්ථිර විසඳුම් සෙවීම සඳහා
ආරක්ෂක ලේකම් නිලධාරීන් සමඟ සාකච්ඡාවක
ජනවාරී 16, 2025
අලි මිනිස් ගැටුම් නිරාකරණය සම්බන්ධව සිවිල් ආරක්ෂක බලකාය විසින් සිදුකරනු ලබන කාර්යයභාරය සොයා බැලීම සඳහා විශේෂ සාකච්ඡාවක් ආරක්ෂක ලේකම් එයාර් වයිස් මාර්ෂල් සම්පත් තුයියකොන්තා (විශ්‍රාමික) ගේ ප්‍රධානත්වයෙන් ඊයේ (ජන 15) ආරක්ෂක අමාත්‍යංශයේදී පැවැත්විණ.
අලි මිනිස් ගැටුම් පවතින ප්‍රදේශවල අලිවැට ආරක්ෂා කිරීම නඩත්තු කිරීම මෙන්ම අලි ඇතුන්ගෙන් මිනිස් ජිවිත ආරක්ෂා කිරිමටත්, මිනිසුන්ගෙන් අලි ඇතුන් ආරක්ෂා කිරීමටත්, වනජීවී දෙපාර්තුමේන්තුව වෙත සහය ලබාදීම වැනි කාර්යයන් සිවිල් ආරක්ෂක බලකාය විසින් ඉටු කරනු ලබයි.
දිවයිනේ ප්‍රදේශ කිහිපයකටම බලපාන ප්‍රධාන ගැටළුවක් බවට පත්ව තිබෙන මෙම අලි-මිනිස් ගැටුම් පාලනය කිරීම සඳහා සිවිල් ආරක්ෂක බලකාය සෘජුව සහ සක්‍රීයව දායක වේ. එම ඉටුකරනු ලබන ලබන රාජකාරීන් පිළිබඳව සොයා බැලීම සහ ඉදිරි සැලසුම් පිළිබදව සාකච්ඡා කිරීමේ අරමුණින් යුතුව මෙම විශේෂ සාකච්ඡාව පැවැත්විණ.
මෙම සාකච්ජාව සදහා සිවිල් ආරක්ෂක බලකයේ අතිරේක අධ්‍යක්ෂක ජනරාල් රියර් අද්මිරාල් ඩබ්ලිව් බී ඩී ඊ එම් සුදර්ශන, සිවිල් ආරක්ෂක බලකයේ අධ්‍යක්ෂක මෙහෙයුම් බ්‍රිගේඩියර් එම් එස් වැලිගම හා ජ්‍යෙෂ්ඨ නිලධාරීන් පිරිසක්ද සහභාගී විය.