ඇමරිකා එක්සත් ජනපදයේ Institute for Security Governance හි නිලධාරීන් පිරිසක් ශ්‍රී ලංකාවේ වැඩබලන ආරක්‍ෂක අමාත්‍යවරයා හමුවෙයි

ජනවාරී 16, 2025

ඇමරිකා එක්සත් ජනපදයේ Institute for Security Governance හි නියෝජිතයින් සහ ශ්‍රී ලංකාවේ එක්සත් ජනපද තානාපති කාර්යාලයේ නිලධාරීන් ඇතුළු පිරිසක් ජන. 15 දින කොළඹ පිහිටි අමාත්‍ය කාර්යාලයේදී වැඩබලන ආරක්‍ෂක අමාත්‍ය මේජර් ජෙනරල් අරුණ ජයසේකර (විශ්‍රාමික) හමුවිය.

එක්සත් ජනපද ආරක්‍ෂක දෙපාර්තමේන්තුව යටතේ ක්‍රියාත්මක Institute for Security Governance මගින් මෙරට ත්‍රිවිධ හමුදාවේ මෙන්ම ශ්‍රී ලංකා වෙරළාරක්‍ෂක බලකාය, ජාතික ආරක්‍ෂක විද්‍යාලය, කොතලාවල ආරක්‍ෂක විශ්වවිද්‍යාලය සහ ආරක්‍ෂක සේවා අණ හා මාණ්ඩලික විද්‍යාලය ඇතුළු ආයතන ගණනාවක් සමඟ දැනට ක්‍රියාත්මක හැකියාවන් සහ ධාරිතාවන් තවදුරටත් ඉහල නැංවීමේ වැඩසටහන් වල ව්‍යාපෘති ඇගයීම, සමාලෝචනය සහ සංවර්ධනය කිරීමේදී වැදගත් කාර්යභාරයක් ඉටු කරනු ලබයි.

මෙම සාකච්ඡාවට සහභාගී වූ එක්සත් ජනපද නියෝජිත පිරිසට ඉන්දු-පැසිෆික් කලාපීය වැඩසටහන් ප්‍රධානි Michael Rembold, ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක වැඩසටහන් සම්බන්ධීකාරක Matt Ashley, නියෝජ්‍ය සම්බන්ධිකාරක Daniel Simpson, විෂයානුබද්ධ විශේෂඥ සහ ඇමරිකානු ආරක්‍ෂක අමාත්‍යාංශයේ නියෝජිත කණ්ඩායමේ කණ්ඩායම් ප්‍රධානි Oscar De Soto, කොළඹ ඇමරිකා එක්සත් ජනපද තානාපති කාර්යාලයේ ආරක්‍ෂක උපදේශක කර්නල් Tony Nelson සහ කොළඹ එක්සත් ජනපද තානාපති කාර්යාලයේ ආරක්‍ෂක සහයෝගිතා කාර්යාලයේ ප්‍රධානී කමාන්ඩර් Sean Lin ඇතුලත් විය.

දෙපාර්ශවයේ සහයෝගී ප්‍රයත්නයන් මෙන්ම විශ්වාසය සහ අන්‍යෝන්‍ය අවබෝධය වර්ධනය කිරීම සඳහා වන උත්සාහයන් පිළිබඳ මෙම සාකච්ඡාව ඔස්සේ අවධාරණය කරනු ලැබීය. මෙම සහයෝගීතාවන් ශ්‍රී ලංකාවේ ආරක්‍ෂක ප්‍රමුඛතා සහ තීරණ ගැනීමේ ක්‍රියාවලීන් පිළිබඳ වටිනා අවබෝධයක් ලබා දී ඇති අතර, එමඟින් අනාගතයේ වඩාත් සැලකිය යුතු හවුල්කාරිත්වයන් වර්ධනය කිරීම සඳහා ශක්තිමත් පදනමක් සකස් කෙරෙනු ඇත.

කලාපීය ස්ථාවරත්වය සහ ආරක්‍ෂාව සඳහා වූ හවුල් කැපවීම අවධාරණය කරමින් අනාගත සහයෝගීතා ප්‍රයත්නවල අවශ්‍යතා ද මෙම  සාකච්ඡාවට ඇතුළත් විය. ආරක්‍ෂක අංශයේ අන්‍යෝන්‍ය වර්ධනය සහ අවබෝධය ඉහල නැංවීමෙහිලා ශ්‍රී ලංකාව සහ එක්සත් ජනපදය අතර කල්පවත්නා හවුල්කාරිත්වය මෙම රැස්වීම මගින් යලිත් අවධාරණය කරන ලදි.