‘ජාතිය නගාසිටුවීමේ උදාරතර කාර්යභාරයට උරදීම සඳහා ස්වයං විනයකින් සහ
සැබෑ කැපවීමකින් තමන් වෙත පැවරෙන රාජකාරියේ නිරත වීම
අප කාගේත් වගකීමයි’ - වැඩබලන ආරක්‍ෂක අමාත්‍ය

ජනවාරී 17, 2025

වර්තමානයේ අප රට මුහුණ දී තිබෙන මෙම අර්බුදකාරී තත්ත්වයෙන් මිදීම සඳහා දැඩි ස්වයං විනයක් පවත්වා ගනිමින් සැබෑ කැපවීමකින් යුතුව අපගේ යුතුකම ඉටු කළ යුතු බවත් වගකීමෙන් සහ වගවීමෙන් ක්‍රියා කළ යුතු බවත් ඊයේ (ජන. 16) දින කොළඹ යුද හමුදා රෝහලේ සිදු කල නිරීක්‍ෂණ චාරිකාව අතරතුර සභාව අමතමින් වැඩබලන ආරක්‍ෂක අමාත්‍ය මේජර් ජෙනරල් අරුණ ජයසේකර (විශ්‍රාමික) ප්‍රකාශ කලේය.

යුද හමුදාපති ලුතිනන් ජෙනරල් ලසන්ත රුද්‍රිගු සහ රෝහල් බලධාරීන් විසින් යුද හමුදා රෝහල වෙත පැමිණි මේජර් ජෙනරල් ජයසේකර (විශ්‍රාමික) ඉතා උණුසුම් අයුරින් පිළිගනු ලැබීය. අනතුරුව, රෝහලේ විශ්‍රාමික රණවිරුවන්ගේ වාට්ටු ඇතුලු වාට්ටු කිහිපයක් සහ අනෙකුත් පහසුකම් පිළිබඳ නිරීක්‍ෂණ චාරිකාවක නිරත වීමෙන් පසු රෝහල් අධ්‍යක්‍ෂවරයා විසින් ශ්‍රී ලංකා යුද හමුදාව යටතේ ක්‍රියාත්මක ප්‍රමුඛතම රෝහල පිළිබඳ දැනුවත් කිරීමේ හමුවකට ද සහභාගී විය.

යුද හමුදා රෝහලෙන් රණවිරුවන් හට හා ඔවුන්ගේ පවුල් වල සාමාජිකයන්ට මෙන්ම සමාජයට ඉටුවන විශිෂ්ඨ සේවාව අගය කල අමාත්‍යවරයා, වත්මන් රජය විසින් හඳුන්වා දී ඇති උදාර දේශපාලන සංස්කෘතිය තුළ දූෂණයට කිසිදු ඉඩක් නොමැති බවත්, සියලු පුරවැසියන්ගේ දෛනික ජීවිත වලට අහිතකර බලපෑම් ඇති වීමට හේතු වී තිබෙන මෙම සමාජීය හා ආර්ථික අර්බුදයෙන් රට ගොඩගැනීමට නම් නීතියේ ආධිපත්‍යය නිසි ලෙස ක්‍රියාත්මක විය යුතු බවද ප්‍රකාශ කළේය. එකී අරමුණු මුදුන් පමුණුවා ගැනීම සඳහා රජය ‘Clean Sri Lanka’ වැඩසටහන හඳුන්වා දී තිබෙන බවද සඳහන් කලේය.

අමාත්‍යවරයා යුද හමුදා රෝහලේ නේවාසික රෝගීන් මෙන්ම රෝහලට පැමිණ සිටි පිරිස් සමඟ සුහදව කතා බහක නිරත විය.

සිය ධූරයේ වැඩ භාර ගැනීමෙන් පසු යුද හමුදා රෝහලේ සිදු කල පළමු නිල සංචාරය සනිටුහන් කරමින් මේජර් ජෙනරල් ජයසේකර (විශ්‍රාමික) අමුත්තන්ගේ පොතේ සටහනක්ද තැබීමට අමතක නොකළේය.

මෙම අවස්ථාවට යුද හමුදා නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධානී මේජර් ජෙනරල් චන්දන වික්‍රමසිංහ, විධායක ජෙනරාල්, යුද හමුදා සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ ජෙනරාල්, රෝහලේ වෛද්‍ය සහ පරිපාලන කාර්ය මණ්ඩලය සහ ජ්‍යෙෂ්ඨ හමුදා නිලධාරීන් පිරිසක් ද එක්ව සිටියහ.