දිවයින පුරා වී ගබඩා පිරිසිදු කිරීමේ මෙහෙයුම් සඳහා
ශ්‍රී ලංකා යුද්ධ හමුදා භටපිරිස්හි දායකත්වය
ජනවාරී 20, 2025
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ජනාධිපති සහ සන්නද්ධ හමුදා සේනාධිනායක අතිගරු අනුර කුමාර දිසානායක මැතිතුමන්ගේ මඟපෙන්වීම මත දිවයින පුරා ක්‍රියාත්මක වන ‘ක්ලීන් ශ්‍රී ලංකා’ වැඩසටහනට සමගාමීව මහ කන්නයේ වී අස්වැන්න මිලදී ගැනීම සඳහා රජය වෙතින් වැඩසටහනක් ක්‍රියාත්මක කිරීමට නියමිතව ඇත. ඒ අනුව, වී මිලදී ගැනීමෙන් පසුව ගබඩා කිරීම සඳහා වී අලෙවි මණ්ඩලය සතු වී ගබඩාවන් 209 ක් භාවිතා කිරීමට ද රජය සැලසුම් කරමින් පවතී.
මෙම වී ගබඩාවන් සහ ඒ අවට පරිශ්‍රයන් දීර්ඝ කාලයක් පුරාවට භාවිතයට නොගැනීම හේතුවෙන්, එම වී ගබඩාවන් භාවිතයට ගැනීමට පෙර පිරිසිදු කොට ප්‍රතිසංස්කරණය කිරීමේ අවශ්‍යතාවයක් පවතී. ආරක්‍ෂක ලේකම්තුමන්ගේ උපදෙස් සහ යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් ලසන්ත රොද්‍රිගෝ ආර්එස්පී සීටීඑෆ්-එන්ඩීයූ පීඑස්සී අයිජී ගේ මඟපෙන්වීම මත මෙම ජාතික අවශ්‍යතාවය සපුරාලීම සඳහා සහය දැක්වීමට ශ්‍රී ලංකා යුද්ධ හමුදා සාමාජිකයන් සූදානම්ව සිටියි.
ඒ අනුව, 2025 ජනවාරි මස 18 දින සිට 2025 ජනවාරි මස 27 දින දක්වා සියලුම ආරක්‍ෂක සේනා මූලස්ථාන වෙතින් දිවයින පුරා වී ගබඩාවන් පිරිසිදු කිරීමේ වැඩසටහන් ක්‍රියාත්මක කරනු ලබයි. මෙම වැඩසටහනේ එක් අදියරක් වශයෙන් 2025 ජනවාරි මස 18 දින යුද්ධ හමුදාවේ මූලිකත්වයෙන් වී ගබඩා පහසුකම් කිහිපයක පිරිසිදු කිරීමේ කටයුතු සහ ප්‍රතිසංස්කරණ කටයුතු ආරම්භ කරන ලදී.
අනුග්‍රහය - www.army.lk