තෙල් කාන්දු ආපදා ප්‍රතිචාර දැක්වීමේ හැකියාව ශක්තිමත් කිරීමට
ශ්‍රී ලංකා සහ මාලදිවයින් වෙරළාරක්ෂක බලකා නිලධාරීන් සම්බන්ධ පුහුණුවක
ජනවාරී 20, 2025
ශ්‍රී ලංකා වෙරළාරක්ෂක බලකායේ නිලධාරින් නව දෙනෙකු ඇතුළුව ශ්‍රී ලාංකික නිලධාරීන් දස දෙනෙකුගෙන් සමන්විත කණ්ඩායමක් මාලදිවයිනේ වෙරළාරක්ෂක බලකායේ සහ මාලදිවයිනේ පරිසර ආරක්ෂණ නියෝජිතායතනයේ නිලධාරීන් පිරිසක් සමඟ අන්තර්ජාතික සමුද්‍රීය සංවිධානයේ පළමු සහ දෙවන මට්ටමේ පුහුණු සැසියක් සාර්ථකව නිම කරනු ලැබීය. ඒකාබද්ධ ස්වභාව සංරක්ෂණ කමිටුව Ambipar සංවිධානය සමග ඒකාබද්ධව සංවිධානය කරන ලද මෙම පුහුණු වැඩසටහන සඳහා සාගර ආශ්රිත රට වල සහයෝගීතා වැඩසටහන (OCPP) විසින් අරමුදල් සපයනු ලැබූ බව ශ්‍රී ලංකා වෙරළාරක්ෂක බලකායේ මාධ්‍ය අංශය ප්‍රකාශ කරයි.
සාගර ආශ්රිත තෙල් කාන්දු අවස්ථාවන්හිදී හදිසි ප්‍රතිචාර ක්රමෝපායන් වැඩි දියුණු කිරීම, එවැනි අවස්ථාවන්ට ඉක්මන් ප්‍රතිචාර දැක්වීම සඳහා වඩා ඵලදායි විධාන පද්ධති ස්ථාපිත කිරීම මෙන්ම ඒකාබද්ධ ප්‍රායෝගික විසඳුම් ක්‍රියාත්මක කිරීම පිළිබඳව මෙම ක්ෂේත්‍ර අභ්‍යාස වලදී විශේෂයෙන් අවධානය යොමු කරන ලදී. එහිදී මාලදිවයිනේ ප්‍රධාන වරායන් සහ ප්‍රධාන දූපතට සැලකිය යුතු දුරකින් පිහිටා ඇති වෙනත් දුපතක් කේන්ද්‍ර කොට ගනිමින් fence booms යෙදවීම, weir skimmers ක්‍රියාත්මක කිරීම සහ අනුකරණය කරන ලද තෙල් කාන්දුවීම් තත්ත්වයන්ට මුහුණ දීම සඳහා මාලදිවයිනේ වෙරළාරක්ෂක බලකාය සතු සම්පත් ඵලදායි අයුරින් භාවිතා කිරීම ආදී ප්‍රායෝගික ක්‍රියාකාරකම් රාශියක නිරත වීමට පුහුණුවට සහභාගී වූ නිලධාරීන්ට අවස්ථාව උදා විය.
මෙම මුලපිරීම ඔස්සේ ශ්‍රී ලංකා වෙරළාරක්ෂක බලකාය සහ මාලදිවයිනේ වෙරළාරක්ෂක බලකාය අතර සහයෝගීතාවය ශක්තිමත් කිරීමේ වැදගත් පියවරක් සනිටුහන් කරයි. පොදු අභියෝගයන්ට සාර්ථකව මුහුණ දීම සහ සමුද්‍රීය පරිසරය සුරැකීම සඳහා ධාරිතාවයන් ගොඩනැගීම සඳහා ජාත්‍යන්තර සහයෝගීතාවයේ වැදගත්කම මෙමගින් යලිත් අවධාරණය කරයි.