ආරක්‍ෂක අමාත්‍යාංශ මහජන දිනයේදී රණවිරුවන්ට සහ රණවිරු පවුල්වල සාමජිකයින්ට සහන

ජනවාරී 20, 2025

විශ්‍රාමික හා රණක්‍ෂිතයට පත් රණවිරුවන්ගේ සහ පසුගිය යුධ සමයේ දිවිපිදූ රණවිරුවන්ගේ පවුල්වල සුභසාධනය වෙනුවෙන් කැපවීම යළි තහවුරු කරමින් ආරක්‍ෂක අමාත්‍යාංශය විසින් ජනවාරි 10 වැනි දින ආරක්‍ෂක ලේකම් එයාර් වයිස් මාර්ෂල් සම්පත් තුයියකොන්තා (විශ්‍රාමික) ගේ ප්‍රධානත්වයෙන් අමාත්‍යාංශ පරිශ්‍රයේදී මහජන දින වැඩසටහන පවත්වන ලදි. අතිගරු ජනාධිපතිතුමන්ගේ මඟපෙන්වීම සහ ගරු නියෝජ්‍ය ආරක්‍ෂක අමාත්‍යවරයාගේ පූර්ණ අධීක්‍ෂණය යටතේ විශ්‍රාමික, රණක්‍ෂිතයට පත් යුද විරුවන්ගේ සහ දිවිපිදූ රණවිරුවන්ගේ පවුල්වල සාමාජිකයන් සඳහා පවතින ගැටලු සදහා සහන ලබාදීමට මෙහිදී කටයුතු සලසා තිබිණ.

එම අවස්ථාවට සහභාගි වූවන් ඉදිරිපත් කල ගැටලුවලට කඩිනමින් විසඳුම් ලබාදීමට කටයුතු කරන ලෙසත්, ඊට අදාළ සුභසාධන වැඩසටහන් ඵලදායි ලෙස ක්‍රියාත්මක කිරීම සහතික කරන ලෙසත්, එහිදී ආරක්‍ෂක ලේකම්වරයා අමාත්‍යාංශ නිලධාරීන් හට අවශ්‍ය උපදෙස් දුන්නේය. මෙම ප්‍රයත්නයන් ඔස්සේ රණවිරුවන්ගේ සහ ඔවුන්ගේ පවුල්වල සාමාජිකයන්ගේ ජීවන තත්ත්වය ඉහළ නැංවීම සඳහා ආරක්‍ෂක අමාත්‍යාංශයේ අඛණ්ඩ කැපවීම විදහා දැක්වෙන අතර, ඔවුන්ගේ සේවය සහ කැපකිරීම් සඳහා ජාතියේ කෘතඥතාව ඉස්මතු කරයි.