පුද්ගලික අංශ ආරක්‍ෂක සේවාවන්හි කටයුතු නියාමනය
සඳහා විශේෂ සාකච්ඡාවක්

ජනවාරී 22, 2025

පුද්ගලික අංශයේ ආරක්‍ෂක සේවාවන්හි ක්‍රියාත්මක කෙරෙන වැඩපිළිවෙල හා ඒ සම්බන්ධයෙන් පවතින ගැටළු පිළිබඳ සොයා බැලීම මෙන්ම, එම සේවාවන් නියාමනය කිරීම සඳහා නිසි ක්‍රමවේදයක් ඇති කිරීමේ අරමුණින් පසුගිය සදුදා (ජන. 20) දින නියෝජ්‍යය ආරක්‍ෂක අමාත්‍යවරයාගේ කාර්යාලයේදී විශේෂ සාකච්ඡාවක් පැවැත්විණ.

ත්‍රිවිධ හමුදා හා පොලිස් සාමාජිකයන් බහුතරයක් සේවයෙන් විශ්‍රාම ගැනීමෙන් අනතුරුව පුද්ගලික ආරක්‍ෂක ‍ක්ෂේත්‍රයේ රැකියාවන්හි නිරත වේ. එම පුද්ගලික ආරක්‍ෂක සේවා ආයතනවල වෘත්තිමයභාවය වැඩිදියුණු කිරීම සහ රැකියා සුරක්‍ෂිතතාවය සහතික කිරීම සඳහා පුද්ගලික ආරක්‍ෂක සේවා ආයතන නියාමනයකට ලක් කිරීමත් තත්වයෙන් උසස් සේවාවක් සැපයීම සඳහා නිසි ක්‍රමවේදයක් සැකසීම ඇතුළු කරුණු කිහිපයක් සම්බන්ධයෙන් මෙහිදී සාකච්ඡාවට ලක්විය.

මෙම අවස්ථාවට ආරක්‍ෂක අමාත්‍යාංශයේ අතිරේක ලේකම් (සිවිල් සේවා හා සංවර්ධන), කම්කරු දෙපාර්තුමේන්තුවේ කොමසාරිස් ජනරාල් සහ සිවිල් ආරක්‍ෂක සමාගම්වල ජ්‍යෙෂ්ඨ නිලධාරින් පිරිසක් සහභාගි වූහ.