ගංවතුරින් විපතට පත් ප්‍රජාවන්ට යුද හමුදා සහාය

ජනවාරී 22, 2025

ගංවතුරින් විපතට පත් දිවයිනේ ප්‍රදේශ කිහිපයක ශ්‍රී ලංකා යුද හමුදා භට පිරිස් ආපදා සහන කටයුතුවල නිරතව සිටින අතර, ගල්කුලම මහනොච්චිකුලම, හොරොව්පොතාන කිරි ඉබ්බා වැව සහ පලුගස්වැව සින්නසිට්ටිකුලම යන වැව් බැමිවල හානි වූ කොටස් පිළිසකර කිරීමට භට පිරිස් කඩිනමින් කටයුතු කළ බව යුද හමුදා මාධ්‍ය ආරංචි මාර්ග පවසයි.

අයහපත් කාලගුණික තත්ත්වයන් හේතුවෙන් ගංඟා ආශ්‍රිත පහත් බිම් ගංවතුර අවදානමට ලක් වී ඇති අතර, බොහෝ වැව්වල ජලය පිරිම හේතුවෙන් පිටාර මට්ටමට ලඟා වී ඇත. ඇතැම් වැව් බැමි ඛාදනය වීම හේතුවෙන් කැඩීයාමේ අවදානම් තත්වයකට මුහුණ පා ඇත. ඇතිවිය හැකි හදිසි අපදා අවස්ථා වලක්වා ගැනීමට මෙන්ම, ආපදා කළමනාකරණ සම්බන්ධිකරණ කටයුතු සඳහා බලධාරින්ට සහායවීමට ත්‍රිවිධ හමුදා භට පිරිස් සහ හමුදා සතු භෞතික සම්පත් ක්‍ෂණිකව ප්‍රතික්‍රියා දැක්විය හැකි පරිදි සුදානම්ව තබා ඇත.

මේ අතර, හොරොව්පොතාන ප්‍රාදේශීය ලේකම් කාර්යාලය හා සම්බන්ධීකරණයෙන් යුද හමුදා භට පිරිස් විසින් හොරොව්පොතාන ප්‍රදේශයේ ගංවතුරින් විපතට පත් වූ ජනතාව වෙත වියළි ආහාර සලාක මෙන්ම, පිසූ ආහාර ද ලබාදීම සිදුකරන ලද අතර, නොනවත්වා ඇද හැලෙන වර්ෂාව හේතුවෙන් මාර්ග සහ පාලම් ජලයෙන් යටවීමෙන් ගමනාගමනයට බාධා ඇති වී තිබෙන ප්‍රදේශ කිහිපයක ජනතාවට ප්‍රවාහන පහසුකම් ද, සැපයීමට කටයුතු යොදා ඇති බව මාධ්‍ය වාර්තාවේ තවදුරටත් දැක්වේ.