පාකිස්ථාන නාවික හමුදා විද්‍යාපීඨයේ දී ලබාගත් විශිෂ්ඨ ජයග්‍රහණය වෙනුවෙන්
නියෝජ්‍ය ආරක්‍ෂක අමාත්‍යවරයාගෙන් මධ්‍ය නිලධාරී තෙන්නකෝන් වෙත ප්‍රශංසා

ජනවාරී 27, 2025

පාකිස්ථානයේ කරච්චි නුවර පිහිටි පාකිස්ථාන නාවික හමුදා විද්‍යාපීඨයේ පසුගියදා පැවති 122 වන මධ්‍ය නිලධාරී පාඨමාලාවේ සහ 30 වන කෙටි සේවා නිලධාරී පාඨමාලාවේ විසිරයාමේ හා අධිකාරියට පත් කිරීමේ පෙළපාලියේදී එම පාඨමාලාවේ දක්‍ෂතම නිලධාරියාට හිමි ගෞරවනීය අසිපත හිමිකර ගැනීම වෙනුවෙන් ශ්‍රී ලංකා නාවික හමුදාවේ මධ්‍ය නිලධාරී විමුක්ති තෙන්නකෝන් වෙත නියෝජ්‍ය ආරක්‍ෂක අමාත්‍ය මේජර් ජෙනරල් අරුණ ජයසේකර (විශ්‍රාමික), සිය සුභාශිංසන පිරිනැමීය.

මේජර් ජෙනරල් ජයසේකර විසින් අද (ජන. 27) දින පෙරවරුවේ කොළඹ පිහිටි සිය කාර්යාලය වෙත පැමිණි මධ්‍ය නිලධාරී තෙන්නකෝන් උණුසුම් අයුරින් පිළිගනු ලැබීය. කෙටි පිළිසඳරක යෙදෙන අතරතුර නියෝජ්‍ය අමාත්‍යවරයා එම නිලධාරියාගේ ආදර්ශමත් කාර්ය සාධනය හා ලැබූ ජයග්‍රණය ඇගයීමට ලක් කළ අතර, අතිගරු ජනාධිපතිතුමා සහ රජය වෙනුවෙන් ශ්‍රී ලංකා නාවික හමුදාවේ සාර්ථක සහ කීර්තිමත් වෘත්තීය ජීවිතයක් සඳහා සුභාශිංසන එක් කළේය. එමෙන්ම, ශ්‍රී ලංකා නාවික හමුදාවේ තම කණිෂ්ඨ නිලධාරීන් සහ යටත් නාවික සාමාජිකයින් සමඟ ඔහු ලබාගත් දැනුම හුවමාරු කර ගැනීමේ සහ ශක්තිමත් නායකත්ව ගුණාංග ප්‍රගුණ කිරීමේ වැදගත්කම ද අවධාරණය කළේය. තවද, ශ්‍රී ලාංකික ජාතියේ සුරක්ෂිතතාව තහවුරු කිරීම තම මූලික වගකීම විය යුතු බවත්, ඒ වෙනුවෙන් සිය උපරිම දායකත්වය දක්වමින් සේවය කිරීම හා පුද්ගලික සංවර්ධනය ලගාකර ගැනීමට ක්‍රියා කල යුතු බවත්, ප්‍රකාශ කළේය.

නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් කාංචන බානගොඩ, ශ්‍රී ලංකා නාවික හමුදාවේ අධ්‍යක්‍ෂ ජනරාල් - පුහුණු, රියර් අද්මිරාල් දම්මික විජේවර්ධන ද මෙම අවස්ථාවට එක්ව සිටියහ.