ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලය 76 වැනි ජනරජ දිනය සමරයි

ජනවාරී 27, 2025

ශ්‍රී ලංකාවේ ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලය ඉන්දියාවේ 76 වැනි ජනරජ දිනය පසුගිය ඉරිදා (ජන 26) කොළඹ ඉන්දීය මන්දිරයේදී උත්කර්ෂවත් අයුරින් සමරනු ලැබීය.

ගරු අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය, මැති ඇමැතිවරුන්, රජයේ ඉහළ පෙළේ නිලධාරීන්, තානාපතිවරුන්, ත්‍රිවිධ හමුදා නිලධාරීන් ඇතුළු සම්භාවනීය අමුත්තන් රැසක් මෙම අවස්ථාවට සහභාගී වූ අතර, ආරක්‍ෂක නියෝජ්‍ය අමාත්‍ය මේජර් ජෙනරල් අරුණ ජයසේකර (විශ්‍රාමික) සහ ආරක්‍ෂක ලේකම් එයාර් වයිස් මාර්ෂල් සම්පත් තුයියකොන්තා (විශ්‍රාමික) ද මෙම අවස්ථාවට සහභාගි වූහ. ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර පවතින මිත්‍රත්වය සහ සහයෝගීතාව මෙම උත්සවයෙදී තව තවත් පිළිබිඹු කළේය.

සන්ධ්‍යාවේ පැවති මෙම වැඩසටහන ඉන්දියානු සම්ප්‍රදායන්හි විවිධත්වය සහ පොහොසත්කම විදහා දක්වන සංස්කෘතික සංදර්ශනවල සම්මිශ්‍රණයකින් සමන්විත විය.

ශ්‍රී ලංකාවේ මෙවර සැමරුම ප්‍රජාතන්ත්‍රවාදී වටිනාකම් ආරක්‍ෂා කිරීමට සහ කලාපීය සංහිඳියාව පෝෂණය කිරීමට ජාතීන් දෙකේම හවුල් කැපවීම යළිත් තහවුරු කළේය.

වැඩබලන ඉන්දීය මහ කොමසාරිස් ආචාර්ය සත්‍යංජල් පාණ්ඩේ සම්භාවනීය අමුත්තන් පිළිගත් අතර, සිය දේශනයේදී දශක ගණනාවක් තිස්සේ ඉන්දියාව සහ ශ්‍රී ලංකාව එක්සේසත් කළ හවුල් ඉතිහාසය සහ සංස්කෘතික බැඳීම් ඉස්මතු කළේය.