විශ්‍රාම යන ගුවන් හමුදාධිපති ආරක්‍ෂක ලේකම් හමුවෙයි

ජනවාරී 27, 2025

සේවයෙන් විශ්‍රාම යන ගුවන් හමුදාපති එයාර් මාර්ෂල් උදේනි රාජපක්‍ෂ අද (ජන 27) දින ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ ආරක්‍ෂක අමාත්‍යාංශයේ දී ආරක්‍ෂක ලේකම් එයාර් වයිස් මාර්ෂල් සම්පත් තුයියකොන්තා (විශ්‍රාමික) හමුවිය.

මෙම නිල හමුවේදී එයාර් මාර්ෂල් රාජපක්‍ෂ තම ධූර කාලය පුරාවට ආරක්‍ෂක අමාත්‍යාංශයෙන් ලබාදුන් නොමද සහාය සහ මගපෙන්වීම පිළිබඳව සිය කෘතඥතාව පළ කළේය. ජාතික ආරක්ෂාව මෙන්ම මෙහෙයුම් විශිෂ්ටත්වය සහතික කිරීම සඳහා ගුවන් හමුදාව හා ආරක්‍ෂක අමාත්‍යාංශය අතර සහයෝගීතාවයේ වැදගත්කම අවධාරණය කරමින් ඔහු තම ධුර කාලසීමාව තුල ගුවන් හමුදාව ලබා ඇති සාමූහික ජයග්‍රහණ පිළිබඳව මතකයන් ආවර්ජනය කළේය.

එමෙන්ම එයාර් මාර්ෂල් රාජපක්‍ෂ විසින් ශ්‍රී ලංකා ගුවන් හමුදාවට කළ ආදර්ශවත් සේවය සහ කැපවීම ආරක්‍ෂක ලේකම්වරයාගේ පැසසුමට ලක්විය. ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ විවිධ නිලතල දරමින් රාජකාරි සිදු කිරීමේදී ගුවන් හමුදාවේ මෙහෙයුම් හැකියාවන් වැඩිදියුණු කිරීම සහ වෘත්තීයභාවය පෝෂණය කිරීම සඳහා විශ්‍රාම යන ගුවන් හමුදාපතිවරයාගේ කැපවීම හා නායකත්වය පිළිබඳවද සිහිපත් කළේය.

එම අවස්ථාව සනිටුහන් කරමින් සමරු තිළිණ හුවමාරුවක් සිදුකිරීමෙන් අනතුරුව සමුගැනීමේ හමුව අවසන් විය. ආරක්‍ෂක ලේකම්වරයා විසින් එයාර් මාර්ෂල් රාජපක්‍ෂ වෙත ඔහුගේ ඉදිරි කටයුතු සඳහා මෙන්ම ප්‍රීතිමත් විශ්‍රාම දිවියකට සුබ පැතුම් එක් කළේය.