ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ 20 වැනි ගුවන් හමුදාපතිවරයා
එයාර් වයිස් මාර්ෂල් වාසු බන්දු එදිරිසිංහ

ජනවාරී 28, 2025

අතිගරු ජනාධිපති අනුර කුමාර දිසානායක මැතිතුමා විසින් ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ අභිනව ගුවන් හමුදාපතිවරයා ලෙස එයාර් වයිස් මාර්ෂල් වාසු බන්දු එදිරිසිංහ, WWV, RWP, RSP and Three bars, USP, Fndu (China), psc, qhi පත් කරන ලදි.

ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක මහතා ඊයේ (ජන. 27) දින ජනාධිපති ලේකම් කාර්යාලයේ දී ඊට අදාල පත්වීම් ලිපිය ප්‍රදානය කළ අතර, ඒ අනුව එයාර් වයිස් මාර්ෂල් එදිරිසිංහ ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ 20 වැනි ගුවන්හමුදාපතිවරයා ලෙස ඉතිහාසයට එක් වේ.

මහනුවර ශාන්ත සිල්වෙස්තර විද්‍යාලයේ කීර්තිමත් ආදි ශිෂ්‍යයෙකු වන එයාර් වයිස් මාර්ෂල් එදිරිසිංහ 1991 වසරේ දී ආධුනික කැඩෙට් නිලධාරියෙකු ලෙස ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ 24 වැනි කැඩෙට් නිලධාරී පාඨමාලාවට සම්බන්ධ වූ අතර, තම පුහුණුව සාර්ථකව නිම කිරීමෙන් පසු 1993 වසරේ දී නියමු පොදු රාජකාරි ශාඛාවේ පයිලට් ඔෆිසර් නිලයෙහි අධිකාරී ලත් නිලධාරියෙකු ලෙස පත් විය. SF 260 Warrior ගුවන් යානයෙන් සිය මූලික පියාසර පුහුණුව සම්පුර්ණ කිරීමෙන් අනතුරුව ඔහු භාණ්ඩ හා මගී ප්‍රවාහන ගුවන් යානා නියමුවෙකු ලෙස උසස් පුහුණුව ලැබීමට සුදුසුකම් ලැබීය.

එවකට පැවති සේවා අවශ්‍යතාවයන් මත පසුකාලීනව ඔහු හෙලිකොප්ටර් යානා මෙහෙයුම් වෙත යොමු කරනු ලැබූ අතර, 1993 වර්ෂයේ දී Bell 206, Bell 212 සහ Bell 412 හෙලිකොප්ටර් යානා ගුවන් නියමුවෙකු ලෙස සිය උසස් පුහුණුවීම් සාර්ථකව නිම කළේය. අනතුරුව ශ්‍රී ලංකා ගුවන් හමුදා හිඟුරක්ගොඩ මුලික කඳවුරේ අංක 7 හෙලිකොප්ටර් බලඝණයට අනුයුක්ත කරනු ලැබූ ඔහු Bell 212 හෙලිකොප්ටර් ගුවන් නියමුවෙකු වශයෙන්, පසුගිය මානුෂීය මෙහෙයුම් සමයේදී හා ඉන් පසුවත් විශේෂයෙන් උතුරු හා නැගෙනහිර ප්‍රදේශ ඇතුළුව දිවයිනේ ක්‍රියාත්මක කෙරුණු ක්‍රියාන්විත මෙන්ම මානුෂිය ගුවන් මෙහෙයුම් රාශියකට සම්බන්ධ වෙමින් සිය නායකත්වය සහ ගුවන් නියමුවෙකු ලෙස තම කාර්ය භාරයේ සුවිශේෂී කුසලතා ප්‍රදර්ශනය කළේය.

1998 වර්ෂයේ දී එයාර් වයිස් මාර්ෂල් එදිරිසිංහ ශ්‍රී ලංකා ගුවන් හමුදා හිඟුරක්ගොඩ කඳවුරේ හෙලිකොප්ටර් යානා පියාසර උපදේශන පුහුණු පාඨමාලාවක් සම්පූර්ණ කළ අතර, රාජකීය ගුවන් හමුදාවේ මධ්‍යම පියාසර පාසල විසින් සහතික කරන ලද A2 ශ්‍රේණිගත හෙලිකොප්ටර් උපදේශකයෙකු වශයෙන් තම දැනුම හා අත්දැකීම් උපයෝගී කරගනිමින් ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ සේවයට කැපවූ අතිදක්‍ෂ හෙලිකොප්ටර් ගුවන් නියමුවන් රාශියක් බිහිකිරීමට සිය දායකත්වය දැක්විය. පියාසර පැය 7,000කට අධික ප්‍රමාණයක් හෙලිකොප්ටර් යානා නියමුවෙකු ලෙස කටයුතු කොට ඇති ඔහු, උපකරණ ආධාරයෙන් හෙලිකොප්ටර් යානා පැදවීම සඳහා ගුවන් නියමුවන් ශ්‍රේණිගත කිරීමේ සුදුසුකම් ලත් පරීක්‍ෂකවරයෙකු වන අතර Night Vision Goggle (NVG) හෙලිකොප්ටර් මෙහෙයුම් පිළිබඳව ද විශේෂඥයෙකි.

ඇමරිකා එක්සත් ජනපදයේ ඇලබාමා හි පිහිටි කීර්තිමත් ඇමරිකා එක්සත් ජනපද ගුවන් හමුදා විශ්වවිද්‍යාලයෙන් මාණ්ඩලික නිලධාරී පාඨමාලාව සම්පුර්ණ කොට උපාධිය ලබා ගෙන ඇති ඔහු චීනයේ ජාතික ආරක්‍ෂක විද්‍යාලයෙන්ද ආරක්‍ෂක අධ්‍යයනය පිළිබඳ උපාධිය සම්පුර්ණ කිරීමට සමත් විය. 2011 වර්ෂයේදී පාකිස්තානයේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලයේ ආරක්‍ෂක උපදේශක ලෙස කටයුතු කරමින් ඔහු රාජ්‍යතාන්ත්‍රික නිලධාරියෙකු වශයෙන්ද සිය සේවයට කැප වී ක්‍රියා කළේය.

එයාර් වයිස් මාර්ෂල් එදිරිසිංහ, සිය කීර්තිමත් සේවා කාලය පුරාවට විවිධ පියාසර බලඝණවල නිලධාරි අණදෙන පුහුණු සහ නිලධාරි අණදෙන මෙහෙයුම් ලෙස කටයුතු කොට ඇති අතර අංක 4, 6, සහ 7 හෙලිකොප්ටර් යානා බලඝණවල අණ දෙන නිලධාරී ලෙස ද කටයුතු කොට ඇත. ශ්‍රී ලංකා ගුවන් හමුදාව අනුරාධපුරය සහ හිඟුරක්ගොඩ මුලික කඳවුරුවල අණදෙන නිලධාරි ලෙසත්, ශ්‍රී ලංකා ජාතික ආරක්‍ෂක විද්‍යායතනයේ ජ්‍යෙෂ්ඨ මාණ්ඩලික අධ්‍යක්‍ෂක ලෙසත් සේවය කොට ඇති ඔහු, චීන වරාය ගුවන් හමුදා විද්‍යාපීඨයේ පීඨාධිපති ලෙස සේවය කරන අතරතුර නැගෙනහිර ගුවන් විධානයේ ආඥාපතිවරයා ලෙසද කටයුතු කළේය.

වර්ෂ 2022 දී ඔහු ගුවන් හමුදා මුලස්ථානයේ අධ්‍යක්‍ෂ පුහුණු සහ අධ්‍යක්‍ෂ ගුවන් මෙහෙයුම් යන තනතුරු දැරීමෙන් අනතුරුව අධ්‍යක්‍ෂ ජනරාල් පුහුණු, අධ්‍යක්‍ෂ ජනරාල් ගුවන් මෙහෙයුම් සහ අධ්‍යක්‍ෂ ජනරාල් සැලසුම් ලෙසද කටයුතු කළේය. දුරදර්ශී නායකත්වය සහ පුළුල් මෙහෙයුම් පළපුරුද්ද සහිත ඔහු ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ ගුවන් හමුදාපතිවරයා ලෙස පත් කරනු ලැබීය.

සිය සේවා කාලය තුල එයාර් වයිස් මාර්ෂල් එදිරිසිංහ විසින් දක්‍ෂ හමුදා නිලධාරියෙකු වශයෙන් දැක්වූ වීරත්වය සහ විශිෂ්ඨ සේවාව අගයනු වස් "වීර වික්‍රම විභූෂණය", "රණ වික්‍රම පදක්කම", "රණ සූර පදක්කම" තෙවරක් සහ "උත්තම සේවා පදක්කම" ඇතුළු කීර්තිමත් හමුදා පදක්කම් රාශියක් ඔහු වෙත ප්‍රදානය කොට ඇත.

ඔහු ක්‍රිෂාන්ති එදිරිසිංහ මහත්මිය සමඟින් විවාහපත්ව සිටින අතර, ඇය ජිවිත ගමන පුරාවටම ඔහු වෙත නොසැලී ශක්තියක්ව සිටී.