77 වැනි ජාතික නිදහස් දින සැමරුම සඳහා සියලු කටයුතු සූදානම්
ජනවාරී 30, 2025- ජාතික පුනරුදයට එක්වෙමු යන තේමාව යටතේ මෙවර නිදහස් දින සැමරුම පැවැත්වේ
- එකමුතුකම සහ විවිධත්වය පෝෂණය කරමින් සර්ව ආගමික වතාවත්
- විශේෂ රථවාහන සැලැස්මක් ක්‍රියාත්මකයි
77 වැනි ජාතික නිදහස් දින සැමරුම මෙරටේ නව යුගයක සමාරම්භය සනිටුහන් කරන නිදහස් දින උත්සවයක් බවට පත්වෙන බව රාජ්‍ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍ය ආචාර්ය ඒ.එච්.එම්.එච්. අබයරත්න මැතිතුමා අද (ජන 30) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තු පරිශ්‍රයේ පැවති නිදහස් දින සැමරුම් පෙළපාලිය පිළිබඳ මාධ්‍ය දැනුවත් කිරීමේ සාකච්ඡාවේදී ප්‍රකාශ කරන ලදී. අතිගරු ජනාධිපති අනුර කුමාර දිසානායක මැතිතුමාගේ ඉදිරි චින්තන දැක්ම පදනම් කර ගනිමින් වඩා යහපත් හෙට දිනක් නිර්මාණය කිරීම වෙනුවෙන් පුරවැසියන්ගේ අයිතිවාසිකම් තහවුරු කරන සහ ඔවුන් සවිබල ගන්වන දේශපාලන, සාමාජීය සහ ආර්ථික පරිසරයක් ස්ථාපිත කිරීමේ ප්‍රයත්නය මේ ඔස්සේ ආරම්භ කරනු ඇත.
2025 පෙබරවාරි 4 වෙනිදාට යෙදෙන 77 වැනි ජාතික නිදහස් දින සැමරුම අතිගරු ජනාධිපතිතුමාගේ ප්‍රධානත්වයෙන් කොළඹ නිදහස් චතුරශ්‍රයේදී පැවැත්වීමට සියලු කටයුතු සූදානම් බවද, ඔහු මෙම මාධ්‍ය සාකච්ඡාවේදී ප්‍රකාශ කරන ලදි.
රටේ වත්මන් ආර්ථික තත්ත්වය සැලකිල්ලට ගනිමින් අත්‍යාවශ්‍ය අංගයන් සඳහා පමණක් මුල්‍ය ප්‍රතිපාදන වෙන්කර ඇති බවද, අමාත්‍යවරයා සඳහන් කළේය. මීට අමතරව, වැඩි මහජන සහභාගීත්වයක් සහතික කිරීමට උත්සාහ කර ඇති අතර, මෙම වසරේ සැමරුම් උත්සවය නැරඹීමට පුරවැසියන් වැඩි ප්‍රමාණයකට අවස්ථාව සලසා දී ඇත.
සැමරුම් උත්සවයේ ප්‍රධාන උත්සවය වන නිදහස් දින පෙළපාලිය පෙර වසරට සාපේක්‍ෂව 40% ක පමණ අඩු හමුදා සහභාගිත්වයකින් සිදුකරන බව මෙම මාධ්‍ය හමුවේදී අදහස් දක්වමින් ආරක්‍ෂක ලේකම් එයාර් වයිස් මාර්ෂල් සම්පත් තුයියකොන්තා (විශ්‍රාමික) අවධාරණය කරන ලදී.
මෙවර පෙළපාලිය සඳහා ශ්‍රී ලංකා ගුවන් හමුදාවට අයත් ගුවන් යානා තුනක් පමණක් සහභාගී වන අතර, සන්නාහ සන්නද්ධ රථ නොමැතිව පාබල පෙළපාලියකින් පමණක් සිදුකරන බවත්, ඊට අමතරව, ශ්‍රී ලංකා නාවික හමුදාවේ නෞකාවක් විසින් සාම්ප්‍රදායිකව වෙඩිමුර 25 ක් තබමින් ජාතියට ආචාරය සිදුකරනු ඇති බවත්, ඔහු වැඩිදුරටත් පැවසීය.
ශ්‍රී ලංකා යුද හමුදාවේ සාමාජිකයින් 1307ක්, ශ්‍රී ලංකා නාවික හමුදාවේ 725ක්, ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ 521ක්, ශ්‍රී ලංකා පොලිසියෙන් සහ විශේෂ කාර්ය බළකායෙන් 505ක්, සිවිල් ආරක්‍ෂක බළකායෙන් 182ක් හා ජාතික ශිෂ්‍යභට බලකායෙන් ශිෂ්‍ය භටයින් 500 දෙනෙකු මෙවර නිදහස් දින උළෙලට සහභාගි වන බව යුද හමුදාපති ලුතිනන් ජෙනරල් ලසන්ත රුද්‍රිගු මාධ්‍යවේදියකු විසින් ඉදිරිපත් කරන ලද ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් කියා සිටියේය.
නිදහස් චතුරශ්‍රයේ පැවැත්වෙන පෙළපාලි පෙරහුරු කාලය තුල සහ ප්‍රධාන උත්සවය අවසන් වනතුරු ආරක්‍ෂාව සඳහා ශ්‍රී ලංකා පොලිසියේ සහ විශේෂ කාර්ය බළකායේ නිලධාරීන් 1650ක් යොදවා ඇති බව ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ලලිත් පතිනායක මෙහිදී ප්‍රකාශ කරන ලදි.
සාමාන්‍ය රථවාහන ගමනාගමනයට හා මගී ජනතාවට බාධාවකින් තොරව පෙරහුරු වැඩසටහන් සහ ප්‍රධාන උත්සවය සිදුකිරීම සඳහා විශේෂ රථවාහන සැලැස්මක් සහ වාහන නැවැත්වීමේ ස්ථාන නම්කර ඇති බව ශ්‍රී ලංකා පොලිස් රථවාහන කොට්ඨාසය භාර නියෝජ්‍ය පොලිස්පති ඉන්දික හපුගොඩ පැවසීය.
රාජ්‍ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යාංශයේ ලේකම් එස්. ආලෝක බණ්ඩාර මහතා, නාවික හමුදාපති වයිස් අද්මිරාල් කාංචන බානගොඩ, ගුවන් හමුදාපති එයාර් මාර්ෂල් බන්දු එදිරිසිංහ, රාජ්‍ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යාංශයේ අතිරේක ලේකම් (ස්වදේශ කටයුතු) ඒ.ජී.නිශාන්ත සහ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ අධ්‍යක්‍ෂ ජනරාල් එච්.එස්.කේ.ජේ. බණ්ඩාර යන මහත්වරුද මෙම මාධ්‍ය සාකච්ඡාවට සම්බන්ධ විය.