නව ගුවන් හමුදාපති ආරක්‍ෂක ලේක‍වරයා හමුවෙයි

ජනවාරී 30, 2025

නව ගුවන් හමුදාපති එයාර් මාර්ෂල් බන්දු එදිරිසිංහ අද (ජන 30) ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ පිහිටි ආරක්‍ෂක අමාත්‍යාංශයේ දී ආරක්‍ෂක ලේකම් එයාර් වයිස් මාර්ෂල් සම්පත් තුයියකොන්තා (විශ්‍රාමික) හමුවිය.

මෙම හමුවේදී ආරක්‍ෂක ලේකම්වරයා එයාර් මාර්ෂල් එදිරිසිංහ ගේ නව පත්වීම සම්බන්ධයෙන් සිය සුභාශිංසන පළ කළ අතර, ශ්‍රී ලංකා ගුවන් හමුදාව තවදුරටත් ශක්තිමත් කිරීමට ඔහුගේ නායකත්වය කෙරෙහි විශ්වාසය පළ කළේය. ප්‍රධාන වශයෙන් ජාතික ආරක්‍ෂවට අදාල කරුණු, මෙහෙයුම් සූදානම සහ ජාතිය ආරක්‍ෂා කිරීම සඳහා ගුවන් හමුදාවේ හැකියාවන් ඉහළ නැංවීම අරමුණු කරගත් උපාය මාර්ගික මුලපිරීම් පිළිබඳව මෙම සාකච්ඡාවේදී අවධානය යොමු විය.

එයාර් මාර්ෂල් එදිරිසිංහ, ගුවන් හමුදාව තුළ ඉහළම වෘත්තීයමය ප්‍රමිතීන් ආරක්‍ෂා කිරීමටත්, ජාතික ආරක්‍ෂාව  සහ ආපදා ප්‍රතිචාර මෙහෙයුම් සඳහා අඛණ්ඩ දායකත්වය සහතික කිරීමට තමා කැපචිමෙන් කටයුතු සිදුකරන බවද මෙහිදී අවධාරණය කළේය.

ආරක්‍ෂක අමාත්‍යාංශය සහ ශ්‍රී ලංකා ගුවන් හමුදාව ජාතික ආරක්‍ෂාව සහ ස්ථාවරත්වය පවත්වාගෙනයාමේ හවුල් මෙහෙවරෙහි අඛණ්ඩ සහයෝගීතාවය සංකේතවත් කරමින් සමරු තිළිණ හුවමාරුවක් ද මෙම නිළ හමුවේදී සිදුවිය.