මත්ද්‍රව්‍ය සමඟ සැකකරුවන් 04 දෙනෙකු දකුණු මුහුදේදී නාවික හමුදාවේ අත්අඩංගුවට

ජනවාරී 01, 2021

නාවික හමුදාව විසින් ගාල්ල, දොඩන්දූවට ඔබ්බෙන් වූ මුහුදු ප්‍රදේශයේ 2020 දෙසැම්බර් 31 වන දින සිදුකළ විශේෂ සෝදිසි මෙහෙයුමකදී, බහුදින ධීවර යාත්‍රාවක ප්‍රවාහනය කරමින් තිබූ අයිස් මත්ද්‍රව්‍ය කිලෝ 5 ග්‍රෑම් 945 ක්, හෙරොයින් කිලෝ 2 ග්‍රෑම් 47 ක් සහ කේරල ගංජා ග්‍රෑම් 3 ක ප්‍රමාණයක් සමඟ සැකකරුවන් සිව් දෙනෙක් එම බහුදින ධීවර යාත්‍රාව සමඟ නාවික හමුදා භාරයට ගන්නා ලදි.

මත්ද්‍රව්‍ය උවදුර පිටුදැකීම සඳහා රජය ගෙන යන ඒකාබද්ධ යාන්ත්‍රණය ශක්තිමත් කරමින් මුහුදු මාර්ග ඔස්සේ සිදුකරනු ලබන මත්ද්‍රව්‍ය ජාවාරම ඇතුළු නීති විරෝධී කටයුතු මැඩපැවැත්වීම සඳහා ශ්‍රී ලංකා නාවික හමුදාව නිරන්තර මෙහෙයුම් සිදුකරනු ලබයි.

ඒ අනුව සිදුකල මෙම මෙහෙයුම මගින් මත්ද්‍රව්‍ය හුවමාරු කර ගැනීම සඳහා භාවිතා කරන ලද මෙම බහු දින ධීවර යාත්‍රාව අත්අඩංගුවට ගැනීමට හැකි වූ බව ශ්‍රී ලංකා නාවික හමුදාව පවසයි.

කොවිඩ් 19 ව්‍යාප්තිය වැළැක්වීම සඳහා ලබාදී ඇති සෞඛ්‍ය උපදෙස් හා ක්‍රමවේද අනුගමනය කරමින් සිදුකළ මෙම විශේෂ මෙහෙයුම මගින් අත්අඩංගුවට ගත් සැකකරුවන් වයස අවුරුදු 22 ත් 29 ත් අතර පුද්ගලයින් වන අතර, ඔවුන් මාතර, පොතුවිල්, මීගමුව සහ මස්කෙලිය යන ප්‍රදේශයන්හි පදිංචිකරුවන් වේ.

එම සැකකරුවන්, මත්ද්‍රව්‍ය සහ බහුදින ධීවර යාත්‍රාව ඉදිරි නීතිමය කටයුතු සඳහා හික්කඩුව පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය වෙත භාර දීමට කටයුතු කෙරිණි.