ජාතික වගකීම ක්‍රියාවට නැංවීමේ දී යුද්ධ හමුදාවේ කාර්යභාරය
නියෝජ්‍ය ආරක්‍ෂක අමාත්‍යවරයා විසින් අවධාරණය කරයි

පෙබරවාරි 07, 2025

නියෝජ්‍ය ආරක්‍ෂක අමාත්‍ය මේජර් ජෙනරල් අරුණ ජයසේකර (විශ්‍රාමික), පසුගිය අඟහරුවාදා (පෙබ 04) දින ආරක්‍ෂක අමාත්‍යාංශයේදී ජ්‍යෙෂ්ඨ හමුදා නිලධාරීන් අමතමින් ජාතියේ අනාගතය හැඩගැස්වීමේ ක්‍රියාවලියේ දී ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ ප්‍රධාන කාර්යභාරය පිිළිබඳ යළිත් අවධාරණය කළේය. යුද්ධ හමුදාව අප රටේ ප්‍රධානතම උපාය මාර්ගික ආයතනය බවත්, සෑම විටම ලක් වැසි ජනතාවගේ ජීවිත හා දේපලවල ආරක්‍ෂාව තහවුරු කිරීම හමුදාව වෙත පැවරෙන ප්‍රමුඛතම වගකීම බවත් අවධාරණය කළේය.

තවද, ඔහු ප්‍රධාන කරුණු කිහිපයක් පිළිබඳ මාතෘකා කොට දැක්වූ අතර, එහිදී උපායමාර්ගික වශයෙන් යුද්ධ හමුදාවට අණදෙන ජ්‍යෙෂ්ඨ හමුදා නිලධාරීන් වෙත පැවරෙන දැවැන්ත වගකීම පිළිබඳ විශේෂයෙන් ඉස්මතු කොට දැක්වීය. යුද්ධ හමුදාව සතු මානව සම්පත එහි වටිනාම සම්පත ලෙස හඳුනා ගනිමින් හමුදා සාමාජිකයන් අතර විනය, අන්‍යොන්‍ය ගෞරවය සහ අභිමානය පවත්වා ගැනීමේ වැදගත්කම අවධාරණය කළේය. මීට අමතරව, හමුදා නීති රීති සහ රෙගුලාසි දැඩි ලෙස පිළිපැදීම සහතික කරමින් හමුදාව දේශපාලනීකරණයෙන් දුරස්ථව පවත්වා ගනිමින් එහි වෘත්තීයභාවය ඉහළ නැංවීමේ අවශ්‍යතාවය ද නියෝජ්‍ය අමාත්‍යවරයා අවධාරණය කළේය.

තවද, වත්මන් රජය විසින් ක්‍රියාත්මක කරනු ලබන 'Clean Sri Lanka' වැඩසටහන පිළිබඳව නියෝජ්‍ය අමාත්‍යවරයා පැහැදිලි කළ අතර, මෙය පාරිසරික පවිත්‍රතාවය සහ අපද්‍රව්‍ය කළමණාකරණයට පමණක් සිමා නොවී ඉන් ඔබ්බට විහිදී ගිය සමාජීය හා සංස්කෘතික සංවර්ධනයක් දක්වා වූ පුළුල් පරාසයකින් යුක්ත වැඩසටහනක් බව අවධාරණය කළේය.

යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් ලසන්ත රොද්‍රිගෝ සහ මාණ්ඩලික ප්‍රධානී ඇතුළු ජ්‍යෙෂ්ඨ යුද්ධ හමුදා නිලධාරීන් පිරිසක් මෙම අවස්ථාවට සහභාගී වූහ.