ශ්‍රී ලංකාවේ ඉන්දීය මහ කොමසාරිස් ආරක්‍ෂක ලේකම්වරයා හමුවෙයි

පෙබරවාරි 07, 2025

ශ්‍රී ලංකාවේ ඉන්දීය මහ කොමසාරිස් අතිගරු සන්තෝෂ් ජා මැතිතුමා අද (පෙබ 07) දින ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ පිහිටි ආරක්‍ෂක අමාත්‍යාංශයේ දී ආරක්‍ෂක ලේකම් එයාර් වයිස් මාර්ෂල් සම්පත් තුයියකොන්තා (විශ්‍රාමික) හමු විය.  

ඉන්දීය තානාපතිතුමා සමඟ ශ්‍රී ලංකාවේ ඉන්දීය මහා කොමසාරිස් කාර්යාලයේ ආරක්‍ෂක උපදේශක කැප්ටන් ආනන්ද් මුකුන්දන් සහ සහකාර ආරක්‍ෂක උපදේශක ලුතිනන් කර්නල් මන්දීප් සිං නේගි ද එක්ව සිටියහ.
 
ආරක්‍ෂක අමාත්‍යාංශය වෙත පැමිණි ඉන්දීය දූත පිරිස ආරක්‍ෂක ලේකම්වරයා විසින් ඉතා උණුසුම් අයුරින් පිළිගැනීමෙන් අනතුරුව ඔවුන් සමඟ සුහද කතාබහක ද නිරත විය.

පෞරාණික ඉතිහාසයකට උරුමකම් ඇති ඉන්දු - ශ්‍රී ලංකා ද්විපාර්ශ්වික සබඳතා තවදුරටත් අවධාරණය කරමින්, දෙරට අතර පවතින දීර්ඝ කාලීන ආරක්‍ෂක සහයෝගීතාව තවදුරටත් ශක්තිමත් කිරීම පිළිබඳව දෙපාර්ශවයේ නියෝජිතයින් පැවති සාකච්ඡාවලදී ප්‍රධාන වශයෙන් අවධානය යොමු කරන ලදී. එමෙන්ම කලාපීය ආරක්‍ෂාව සහ සමුද්‍රීය සහයෝගීතාව ඔස්සේ ආරක්‍ෂක සහයෝගීතාව ඉහළ නැංවීම සඳහා ගත හැකි පියවර පිළිබඳව ද මෙහිදී ඔවුන් අදහස් හුවමාරු කර ගත්හ.

ශ්‍රී ලංකාවේ ජාතික ආරක්‍ෂාව තහවුරු කිරීමේදී විශේෂයෙන්ම ත්‍රස්තවාදයට එරෙහි ක්‍රියාකාරකම්, සමුද්‍රීය ආරක්‍ෂක අභියෝග මෙන්ම හදිසි ආපදා තත්ත්වයන්හිදී අවශ්‍ය ප්‍රතිචාර දැක්වීම සඳහා ඉන්දියාවේ නොසැලෙන සහයෝගය ලබා දෙන බවට ඉන්දීය මහ කොමසාරිස්වරයා අවධාරණය කළේය.

ඉන්දියාව විසින් මේ දක්වා ලබාදුන් අඛණ්ඩ සහය වෙනුවෙන් ආරක්‍ෂක ලේකම්වරයා සිය කෘතඥතාව පළ කළ අතර, කලාපයේ ස්ථාවරත්වය සහ ආරක්‍ෂාව සහතික කිරීම සඳහා ඉන්දු - ශ්‍රී ලංකා ආරක්‍ෂක හවුල්කාරිත්වයේ වැදගත් කාර්යභාරය ද තහවුරු කළේය.

එම අවස්ථාව සනිටුහන් කරමින් දෙපාර්ශවය අතර සමරු තිළිණ හුවමාරුවක් ද සිදුකෙරිණ. ආරක්‍ෂක අමාත්‍යාංශයේ හමුදා සම්බන්ධතා නිලධාරි ද මෙම සාකච්ඡාවට එක් විය.