නියෝජ්‍ය ආරක්‍ෂක අමාත්‍යවරයා ඉතාලි නාවික හමුදාවට අයත් 'ANTONIO MARCEGLIA' නෞකාවේ සංචාරයක නිරත වෙයි

පෙබරවාරි 07, 2025

නියෝජ්‍ය ආරක්‍ෂක අමාත්‍ය මේජර් ජෙනරල් අරුණ ජයසේකර (විශ්‍රාමික) ඊයේ (පෙබ 06) දින සන්ධ්‍යාවේ ඉතාලි නාවික හමුදාවට අයත්  'ANTONIO MARCEGLIA' නෞකාවේ සංචාරයක නිරත විය. එම නෞකාවට අවශ්‍ය පහසුකම් සපයාගැනීමේ අරමුණින් පසුගිය බදාදා (පෙබ 05) දින පෙරවරුවේ කොළඹ වරායට සේන්දු විය.

සංචාරක නියෝජ්‍ය අමාත්‍ය මහාචාර්ය රුවන් රණසිංහ මැතිතුමා ද මෙම අවස්ථාවට එක් වූ අතර නෞකාවේ අණදෙන නිලධාරී, කමාන්ඩර් Alberto Bartolomeo විසින් නෞකාව වෙත පැමිණි සම්භාවනීය අමුත්තන් උණුසුම් අයුරින් පිළිගනු ලැබිය. ශ්‍රී ලංකාවේ ඉතාලි තානාපති අතිගරු Damiano Francovigh මැතිතුමා ද මෙම අවස්ථාවට සහභාගී විය.

හිටපු නාවික හමුදාපති අද්මිරාල් ජයන්ත පෙරේරා (විශ්‍රාමික), ආරක්‍ෂක අමාත්‍යාංශයේ නිලධාරීන්, ත්‍රිවිධ හමුදා ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, රාජ්‍ය තාන්ත්‍රික නිලධාරීන් සහ නෞකාවේ කාර්ය මණ්ඩල සාමාජිකයින් ද මෙම අවස්ථාවට එක්ව සිටියහ.