නියෝජ්‍ය ආරක්‍ෂක ඇමති නාවික හමුදා මූලස්ථානයේ නිරීක්‍ෂණ චාරිකාවක

පෙබරවාරි 11, 2025

නියෝජ්‍ය ආරක්‍ෂක අමාත්‍ය, මේජර් ජෙනරල් අරුණ ජයසේකර (විශ්‍රාමික), ඊයේ (පෙබ 10) නාවික හමුදා මූලස්ථානයේ සිය පළමු නිල සංචාරය සිදුකරන ලදි. එහිදී සම්ප්‍රදායානුකූලව ගෞරව සම්මාන මුරයක් පිරිනමන ලද අතර, නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් කාංචන බානගොඩ විසින් ඔහුව උණුසුම් අයුරින් පිළිගන්නා ලදි.

සිය සංචාරයේදී නියෝජ්‍ය ආරක්‍ෂක අමාත්‍යවරයා නාවික හමුදාධිපතිවරයා සමඟ ඵලදායී සාකච්ඡාවක නිරත වූ අතර, අමාත්‍යවරයාගේ සංචාරයේ වැදගත්කම සංකේතවත් කරමින් මෙම අවස්ථාවේ සම්ප්‍රදායානුකුලව සමරු තිළිණ හුවමාරුවක්ද සිදුවිය.

ශ්‍රී ලංකා නාවික හමුදාවේ ආයතනික රාමුව, නාවික රාජ්‍ය තාන්ත්‍රික මුලපිරීම්, කාලීන අභියෝග, පර්යේෂණ සහ සංවර්ධන ප්‍රයත්නයන් සහ අනාගතය සඳහා වන උපාය මාර්ගික සැලසුම් විස්තර කරමින් සවිස්තරාත්මක විස්තරයක් මෙහෙයුම් අධ්‍යක්‍ෂ ජනරාල් විසින් ඉදිරිපත් කරන ලදි. නාවික හමුදා කළමනාකරණ මණ්ඩලය අමතමින් නියෝජ්‍ය ආරක්‍ෂක අමාත්‍යවරයා ජාතික ආරක්‍ෂාව සඳහා අත්‍යවශ්‍ය උපායමාර්ගික බලවේගයක් ලෙස නාවික හමුදාවේ තීරණාත්මක කාර්යභාරය අවධාරණය කළේය.

පසුව ඔහු නාවික සහ සිවිල් කාර්ය මණ්ඩලය අමතමින් ජාතියේ සමුද්‍රීය අවශ්‍යතා ආරක්‍ෂා කිරීම සඳහා නාවික හමුදාව දක්වන නොසැලෙන කැපවීම අගය කළේය. දූපත් රාජ්‍යයක මූලික නාවික හමුදාව ලෙස නාවික හමුදාව වෙත පැවරී ඇති දැවැන්ත වගකීම මෙහිදී ඔහු අවධාරණය කළේය.

තවද, පාරිසරික තිරසාරභාවය තහවුරු කිරීම සඳහා නාවික හමුදාව දක්වන දායකත්වය අගයමින් මේජර් ජෙනරල් ජයසේකර (විශ්‍රාමික) විසින් ‘Clean Sri Lanka’ වැඩසටහන සඳහා නාවික හමුදාවේ ක්‍රියාකාරී මැදිහත්වීම පිළිබඳව සිය ප්‍රසාදය පළ කළේය. එමෙන්ම ජාතික සංවර්ධනයට සහ රාජ්‍ය ප්‍රතිපත්ති ක්‍රියාවට නැංවීමට සහාය වීම සඳහා නාවික හමුදා සාමාජිකයින් විසින් දක්වනු ලබන වැදගත් කාර්යභාරය පිළිබඳව ද අවධාරණය කළේය.

කලාපීය වශයෙන් ශක්තිමත් නාවික හමුදාවක් ලෙස ශ්‍රී ලංකා නාවික හමුදාව ජාත්‍යන්තර කීර්තියට පත්ව ඇති බව ප්‍රකාශ කල නියෝජ්‍ය ආරක්‍ෂක අමාත්‍යවරයා, නාවික හමුදාව සතු හැකියාවන්, තාක්‍ෂණික විශේෂඥතාවයන් සහ වෘත්තීය විශිෂ්ඨත්වයේ අඛණ්ඩ දියුණුව ඉදිරියටත් පවත්වාගෙන යාමේ වැදගත්කම අවධාරණය කළේය. වෘත්තීයභාවය සහ නවෝත්පාදන සංස්කෘතියක් පෝෂණය කරමින් නාවික හමුදා සාමාජිකයන්ගේ කුසලතා සහ දැනුම වැඩි දියුණු කිරීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ද ඔහු රැස්ව සිටි ජ්‍යෙෂ්ඨ නිලධාරීන් වෙත දැනුම් දුන්නේය.

නාවික හමුදා මුලස්ථානයේ සිදුකල නිල සංචාරය නිමා කරමින් නියෝජ්‍ය ආරක්‍ෂක අමාත්‍යවරයා නාවික හමුදා සාමාජිකයින්ගේ කැපවීම අගයමින් නාවික හමුදා සාමාජිකයන් සහ සිවිල් කාර්ය මණ්ඩලය සමඟ සුහද කතාබහක ද නිරත වීමට අවස්ථාව ලබා ගත්තේය.