රුවන්ඩා ආරක්‍ෂක සේවා අණ සහ මාණ්ඩලික විද්‍යාලයේ
දූත පිරිසක් ආරක්‍ෂක අමාත්‍යාංශයේ නිල සංචාරයක

පෙබරවාරි 11, 2025

රුවන්ඩා ආරක්‍ෂක සේවා අණ සහ මාණ්ඩලික විද්‍යාලයේ අධ්‍යයන අංශ ප්‍රධානී කර්නල් Lausanne Nsengimana Ingabire ප්‍රමුඛ එම විද්‍යාලයේ (RDFCSC) දුත පිරිසක් අද (පෙබ 11) දින ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ පිහිටි ආරක්‍ෂක අමාත්‍යාංශයේ නිල සංචාරයක නිරත විය.

ආරක්‍ෂක අමාත්‍යාංශයේ වැඩබලන ආරක්‍ෂක ලේකම් ඉන්දිකා විජේගුණවර්ධන මහත්මිය ප්‍රමුඛ අමාත්‍යාංශයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් සමඟ එම දූත පිරිස සමඟ සුහද සාකච්ඡාවක නිරත වූහ. මෙම සාකච්ඡාවේදී ආරක්‍ෂක සහයෝගීතාව, දැනුම හුවමාරුව සහ උපායමාර්ගික හවුල්කාරිත්වය ශක්තිමත් කිරීම ආදී ද්විපාර්ශ්වික වශයෙන් වැදගත් කරුණු කිහිපයක් සම්බන්ධයෙන් අවධානය යොමු විය.

අනතුරුව, ආරක්‍ෂක අමාත්‍යාංශයේ හමුදා සම්බන්ධතා නිලධාරි සමඟින් අමාත්‍යංශ ශ්‍රවණාගාරයේ පැවති අන්තර් ක්‍රියාකාරී සැසියට රුවන්ඩා ආරක්‍ෂක සේවා අණ සහ මාණ්ඩලික විද්‍යාලයේ නියෝජිත පිරිස සමඟින් කොළඹ පිහිටි රුවන්ඩා ගරු කොන්සල් කාර්යාලයේ නිලධාරීන් පිරිසක් ද සහභාගී වුහ.