රුවන්ඩා ආරක්‍ෂක සේවා අණ සහ මාණ්ඩලික විද්‍යාලයේ දූත පිරිසක්
ජාතික ආරක්‍ෂක අධ්‍යයන ආයතනය වෙත පැමිණේ

පෙබරවාරි 12, 2025

රුවන්ඩා ආරක්‍ෂක සේවා අණ සහ මාණ්ඩලික විද්‍යාලයේ අධ්‍යයන අංශයේ ප්‍රධානී කර්නල් Lausanne Nsengimana Ingabire ප්‍රමුඛ දූත පිරිසක් පසුගිය අඟහරුවාදා (පෙබ 11) ශ්‍රී ලංකාවේ ජාතික ආරක්‍ෂාව පිළිබඳ ප්‍රමුඛතම අධ්‍යයන ආයතනයක් වන වන ජාතික ආරක්‍ෂක අධ්‍යයන ආයතනයේ සංචාරයක නිරත වූහ.

ජාතික ආරක්‍ෂක අධ්‍යයන ආයතනයේ අධ්‍යක්‍ෂ ජනරාල් සහ වැඩබලන අධ්‍යක්‍ෂ (පර්යේෂණ) ලෙස කටයුතු කරන කර්නල් නලින් හේරත් විසින් එම ස්ථානයට පැමිණි දූත පිරිස පිළිගත්තේය. අනතුරුව ඔහු විසින් ආයතනය පිළිබඳ කෙටි හැඳින්වීමක් ඉදිරිපත් කරන ලද අතර ඊට ජාතික ආරක්‍ෂක අධ්‍යයන ආයතනයේ සංවිධානාත්මක ව්‍යුහය, ජාතික ආරක්‍ෂාව තහවුරු කිරීම වෙනු සිදු කෙරෙන කාර්‍යභාරය, වර්තමානයේ කාලීන අභියෝග, දැනට ක්‍රියාත්මක පර්යේෂණ හා සංවර්ධන මුලපිරීම් මෙන්ම අනාගත උපායමාර්ගික සැලසුම් පිළිබඳ කරුණු ඇතුළත් විය.

ඵලදායි ප්‍රශ්නෝත්තර සැසියකින් ද සමන්විත වූ මෙම හමුව අතරතුර කර්නල් Ingabire විසින් ශ්‍රී ලංකාව හා රුවන්ඩාව අතර ආරක්‍ෂක අංශයන් ශක්තිමත් කිරීම සඳහා ආයතනික වශයෙන් සහයෝගීතාව පවත්වාගැනීමේ වැදගත්කම අවධාරණය කරන ලදී. එමෙන්ම ඉදිරියටත් දෙරට අතර පවතින මෙම අඛණ්ඩ සහයෝගීතාව පෝෂණය කිරීම ඇයගේ අභිප්‍රාය වන බවද ප්‍රකාශ කළාය.

හමුව අවසානයේ ආයතන දෙක අතර සහයෝගීතාවයේ වැදගත්කම අවධාරණය කරමින් සමරු තිළිණ හුවමාරුවක් ද සිදු කෙරිණ.