දකුණු සුඩානයේ දෙවන මට්ටමේ රෝහලෙහි රාජකාරි සඳහා 11 වන ශ්‍රී ලංකා
වෛද්‍ය කණ්ඩායම දිවයිනෙන් පිටව යයි
පෙබරවාරි 14, 2025
දකුණු සුඩානයේ ක්‍රියාත්මක ශ්‍රී ලංකා යුද්ධ හමුදා වෛද්‍ය බලකාය විසින් පවත්වාගෙන යනු ලබන දෙවන මට්ටමේ රෝහලෙහි සාමසාධක රාජකාරි කටයුතු ආරම්භ කිරීම සඳහා 11 වන ශ්‍රී ලංකා යුද්ධ හමුදා වෛද්‍ය කණ්ඩායම බ්‍රහස්පතින්දා (13) දින දිවයිනෙන් පිටව යන ලදී.
11 වන ශ්‍රී ලංකා යුද්ධ හමුදා වෛද්‍ය කණ්ඩායමේ අණදෙන නිලධාරි ලෙස ශ්‍රී ලංකා යුද්ධ හමුදා වෛද්‍ය බලකායේ ලුතිනන් කර්නල් ආර්.එම්.ඩී.බී රාජපක්‍ෂ යූඑස්පී කටයුතු කරන අතර දෙවන අණදෙන නිලධාරි වශයෙන් ලුතිනන් කර්නල් කේ.ඩී.පී.ඩී.ඊ.ඒ විජේසිංහ කටයුතු කරනු ලබයි. ශ්‍රී ලංකා යුද්ධ හමුදා වෛද්‍ය කණ්ඩායම, යුද්ධ හමුදා නිලධාරින් 16 දෙනෙකු, නාවික හමුදා නිලධාරින් දෙදෙනෙකු සහ සෙසුනිලයන් 46 දෙනෙකුගෙන් සමන්විත වේ.
11 වන ශ්‍රී ලංකා යුද්ධ හමුදා වෛද්‍ය කණ්ඩායම දිවයිනෙන් පිටත්ව යාමට ප්‍රථම 2025 ජනවාරි මස 31 සිකුරාදා දින වේරහැර පිහිටි ශ්‍රී ලංකා යුද්ධ හමුදා වෛද්‍ය බලකා රෙජිමේන්තු මධ්‍යස්ථාන සරඹ භූමියේදී යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් ලසන්ත රොද්‍රිගෝ ආර්එස්පී සීටීඑෆ්-එන්ඩීයූ පීඑස්සී අයිජී වෙත හමුදා සම්ප්‍රදායානුකූලව ගෞරවාචාර පුදකළහ.
ශ්‍රී ලංකා යුද්ධ හමුදා වෛද්‍ය බලකායේ බලකාධිපති මේජර් ජෙනරල් ඩී.කේ.එස්.කේ දොලගේ යූඑස්පී පීඑස්සී සහ මධ්‍යස්ථාන සේනාවිධායකතුමන් මෙම අවස්ථාවට සහභාගි වූ අතර, දිවයිනෙන් පිටත්ව යන හමුදා සාමාජිකයන්ගේ පවුල්වල සාමාජිකයන්, ජ්‍යෙෂ්ඨ නිලධාරින් සහ සෙසුනිලයන් රැසක් ඔවුන් දිරිගැන්වීම සඳහා ගුවන් තොටුපළ පරිශ්‍රය වෙත පැමිණ සිටියහ.
එක්සත් ජාතීන්ගේ සාමසාධක මෙහෙයුම් සඳහා ශ්‍රී ලංකා යුද්ධ හමුදා වෛද්‍ය බලකායේ අඛණ්ඩ සහභාගිත්වය තුළින් ගෝලීය සාමය සහ ස්ථාවරත්වය සඳහා ශ්‍රී ලංකාවේ අඛණ්ඩ දායකත්වය මැනවින් පිළිබිඹු කෙරේ. දකුණු සුඩානයේ එක්සත් ජාතීන්ගේ කාර්ය මණ්ඩලයට සහ ප්‍රාදේශීය ජනතාව වෙත වෛද්‍ය ප්‍රතිකාර ලබාදීමේදී දෙවන මට්ටමේ රෝහල තීරණාත්මක කාර්යභාරයක් ඉටුකරන අතර, ඒ තුළින් ක්‍රියාන්විතයේ මානුෂීයභාවය තවදුරටත් ශක්තිමත් කෙරේ.
අනුග්‍රහය - www.army.lk