නියෝජ්‍ය ආරක්‍ෂක අමාත්‍යවරයා ගුවන් හමුදා මූලස්ථානයේ සංචාරයක

පෙබරවාරි 14, 2025

නියෝජ්‍ය ආරක්‍ෂක අමාත්‍ය මේජර් ජෙනරල් අරුණ ජයසේකර (විශ්‍රාමික) ඊයේ (පෙබ 13) දින ගුවන් හමුදා මූලස්ථානයේ සිය පලමු නිල සංචාරය සිදුකළ අතර, එහිදී ශ්‍රී ජයවර්ධනපුර ගුවන් හමුදා කඳවුරේ අණදෙන නිලධාරි විසින් නියෝජ්‍ය අමාත්‍යවරයා වෙත ගෞරව සම්මාන මුරයක් පිරිනමන ලදී.

ගුවන් හමුදාපති එයාර් මාර්ෂල් බන්දු එදිරිසිංහ විසින් ගුවන් හමුදා මූලස්ථානය වෙත පැමිණි නියෝජ්‍ය අමාත්‍යවරයා උණුසුම් ලෙස පිළිගැනීමෙන් අනතුරුව ගුවන් හමුදා කළමනාකරණ මණ්ඩලයේ නිලධාරීන් හඳුන්වාදීම සිදුකරන ලදි. අනතුරුව නියෝජ්‍ය අමාත්‍යවරයා සහ ජ්‍යෙෂ්ඨ ගුවන් හමුදා නිලධාරීන් අතර අන්‍යෝන්‍ය වශයෙන් වැදගත් කරුණු සම්බන්ධයෙන් ඵලදායී සාකච්ඡාවක නිරත වූහ. එහිදී මෙම අවස්ථාව සනිටුහන් කරමින් සමරු තිළිණ හුවමාරුවක් ද සිදුකරන ලදී.

තවද, රත්මලාන ගුවන් හමුදා මූලික කඳවුරේ අණදෙන නිලධාරි විසින් ශ්‍රී ලංකා ගුවන් හමුදාව පිළිබඳ දළ විශ්ලේෂණයක් සිදුකරන ලදී. ඉන්පසු නියෝජ්‍ය අමාත්‍යවරයා මාර්ගගත ක්‍රමවේදය ඔස්සේ දිවයින පුරා පිහිටි ගුවන් හමුදා මූලික කඳවුරු සහ සෙසු කඳවුරු වල අණදෙන නිලධාරීන් සමඟ ද සාකච්ඡාවකට සහභාගී විය.

පසුව, අධ්‍යක්‍ෂ ජෙනරාල් ගුවන් මෙහෙයුම් සහ අධ්‍යක්‍ෂ ගුවන් බුද්ධි විසින් ශ්‍රී ලංකා ගුවන් හමුදාව විසින් සිදුකරන ගුවන් මෙහෙයුම් සහ බුද්ධි තොරතුරු රැස් කිරීමට අදාළ ක්‍රියාකාරකම් පිළිබඳ සවිස්තරාත්මක ඉදිරිපත් කිරීමක් සිදුකරන ලදී. නියෝජ්‍ය අමාත්‍යවරයා ගුවන් හමුදා මූලස්ථානයේ විවිධ අධ්‍යක්‍ෂ මණ්ඩලවල සංචාරය කල අතර, එහි මෙහෙයුම් සහ පරිපාලන කාර්යයන් පිළිබඳ අවබෝධයක් ලබා ගන්නා ලදි.

සිය සංචාරයේදී නියෝජ්‍ය අමාත්‍යවරයා ගුවන් හමුදා මූලස්ථානයේ සේවයේ නියුතු සාමාජිකයින් අමතමින්, ජාතියේ අභිවෘද්ධිය සඳහා සියලුම සාමාජිකයින් උපරිම කැපවීමෙන් තම රාජකාරි ඉටු කිරීමේ අවශ්‍යතාවය අවධාරණය කළේය. තවද, ඔහු පිරිවැය කාර්යක්‍ෂමතාවයේ වැදගත්කම ද අවධාරණය කළ අතර, තම වගකීම් ඉටුකරන අතරම, ජාතියේ සංස්කෘතික වටිනාකම් ආරක්‍ෂා කිරීමට කටයුතු කරන ලෙස ද කාර්ය මණ්ඩලය දැනුවත් කලේය.

අවසානයේ නියෝජ්‍ය අමාත්‍යවරයා ගුවන් හමුදා සාමාජිකයන්ගේ එකමුතුකමේ සහ කැපවීමේ ගුණාංග පෝෂණය කරමින් නිලධාරීන්, ගුවන් භටයින් සහ සිවිල් සේවකයින් සමඟ සුහද කතාබහක ද නිරත විය.