ජාතික ශිෂ්‍යභට බලකායේ අධ්‍යක්‍ෂවරයා සිය නික්මයාම සනිටුහන් කරමින්
ආරක්‍ෂක ලේකම්වරයා හමුවේ

පෙබරවාරි 14, 2025

ජාතික ශිෂ්‍යභට බලකායේ අධ්‍යක්‍ෂ ධුරයෙන් නික්ම යන මේජර් ජෙනරල් සුදන්ත ෆොන්සේකා අද (පෙබ 14) දින ශ්‍රී ජයවර්ධනපුර, කෝට්ටේ පිහිටි ආරක්‍ෂක අමාත්‍යාංශයේදී ආරක්‍ෂක ලේකම් එයාර් වයිස් මාර්ෂල් සම්පත් තුයියකොන්තා (විශ්‍රාමික) හමුවිය.

මෙම හමුවේ දී ආරක්‍ෂක ලේකම්වරයා මේජර් ජෙනරල් ෆොන්සේකා ගේ කැපවූ සේවය සහ ආදර්ශමත් නායකත්වය අගය කරමින්, ශ්‍රී ලංකා යුද හමුදාවට සහ ජාතික ශිෂ්‍යභට බලකායට ඔහු කළ සුවිශේෂී සේවය අගය කළේය.

ජාතික ශිෂ්‍යභට බලකාය නව මානයකට ඔසවා තැබීමට සහ පාසල් ශිෂ්‍යභටයින් අතර විනය, නායකත්වය සහ ජාතික අභිමානය ඉහල නැංවීමට දැරූ උත්සාහය වෙනුවෙන් ආරක්‍ෂක ලේකම්වරයා මේජර් ජෙනරල් ෆොන්සේකා වෙත සිය ප්‍රශංසාව පල කළ අතර ප්‍රීතිමත් විශ්‍රාම දිවියක් වෙනුවෙන් සිය සුබ පැතුම්ද ඔහු වෙත එක් කළේය.

මෙම හමුව සංකේතවත් කරමින් සමරු සිහිවටන හුවමාරුවක් ද සිදු විය.