ශ්‍රී ලංකා සේවා මුක්ත භට සංගමය වසර 80 ක් සම්පූර්ණ කරයි
පෙබරවාරි 18, 2025ශ්‍රී ලංකා සේවාමුක්ත භට සංගමයේ 80 වන සංවත්සර දින සැමරුම පසුගිය ඉරිදා (පෙබරවාරි 16) දින නියෝජ්‍ය ආරක්‍ෂක අමාත්‍ය මේජර් ජෙනරල් අරුණ ජයසේකර(විශ්‍රාමික) ගේ ප්‍රධානත්වයෙන්, දෙල්ගොඩ Tamarind Banquet උත්සව ශාලාවේදී අභිමානවත් අයුරින් පැවැත්විය.නියෝජ්‍ය අමාත්‍යවරයා එම ස්ථානයට පැමිණි අවස්ථාවේදී සේවාමුක්ත භට සංගමයේ සභාපති ලුතිනන් කර්නල් අජිත් සියඹලාපිටිය (විශ්‍රාමික) විසින් ඉතා උණුසුම් අයුරින් ඔහු පිළිගනු ලැබීය.
1944 දී පිහිටුවන ලද ශ්‍රී ලංකා සේවා මුක්ත භට සංගමය, අනුබද්ධ සන්නද්ධ හමුදා සංගම් 48 ක ත්‍රිවිධ හමුදා සාමාජිකයින් 45,000 කට අධික සංඛ්‍යාවක් සාමාජිකත්වය දරණ සංගමයක් වන අතර, මෙම සංගමයේ 80 වන සංවත්සර සැමරුම් උත්සවයේදී ප්‍රධාන ආරාධිතයා ලෙස සහභාගී වූ නියෝජ්‍ය ආරක්‍ෂක අමාත්‍ය මේජර් ජෙනරල් ජයසේකර (විශ්‍රාමික) විසින් රට වෙනුවෙන් දිවිපිදූ සහ විශ්‍රාමික සියළුම රණවිරුවන් මහත් අභිමානයෙන් යුතුව සිහිපත් කරන ලදි.
විශ්‍රාමික මෙන්ම, රට දැය වෙනුවෙන් සටන් වැද තුවාල ලබා විවිධ ආබාධ තත්ත්වයන්ට ලක් වූ අභීත රණවිරුවන් හා මාතෘ භූමියේ නිදහස වෙනුවෙන් තම ජීවිත පුද කල විරෝධාර රණවිරුවන්ගේ පවුල්වල සාමාජිකයන්ගේ සුභසාධනය සඳහා අතිගරු ජනාධිපතිතුමා ඇතුළු සමස්ත රජයම කැප වී සිටින බව මෙහිදී අදහස් දක්වමින් නියෝජ්‍ය අමාත්‍යවරයා සඳහන් කරන ලදි.
එමෙන්ම, ඔවුනගේ පවතින ගැටලු හඳුනා ගැනීමටත් ඒ සඳහා විසඳුම් ලබාදීමටත් ආරක්‍ෂක අමාත්‍යාංශය විසින් ස්ථාපිත කර ඇති ජ්‍යෙෂ්ඨ කමිටුවේ ක්‍රියාවලිය පිළිබඳවද පැමිණ සිටි සාමාජිකයන් අමතමින් දැනුවත් කිරීමට කටයුතු සිදු කරන ලදි.
අවුරුදු දහයක කාලසීමාවක් සේවාමුක්ත භට සංගමයේ මහා සම්මේලන නියෝජනය කල හා අවුරුදු පහක කාලසීමාවක් අනු කමිටුවල හෝ විධායක කමිටුවල සේවය කරන ලද සාමජිකයින් වෙත පිදෙන "යාවජීව සාමාජික පදක්කම" හා යාවජීව සාමාජිකත්වයෙන් පිදුම් ලැබ තවදුරටත් සේවා මුක්ත භට සංගමය වෙත තම සේවය කැපවීමෙන් ලබා දී ඇති සාමාජිකයින් වෙත පිදෙන" ගෞරවාන්විත සේවා පදක්කම" සාමාජිකයින් කිහිප දෙනකු වෙත පැලදීමද, මෙහිදී සිදුවිය.
යුද හමුදාපති ලුතිනන් ජෙනරල් ලසන්ත රොද්‍රිගෝ හා සේවා මුක්ත භට සංගමයේ ලේකම් කර්නල් සුජිත් ජයසේකර (විශ්‍රාමික) ඇතුළු සේවා මුක්ත භට සංගමයේ සාමජිකයින් රැසක් මෙම අවස්ථාවට සහභාගී විය.