නීලගිරි මහා සෑයේ සර්වඥ ධාතූන් වහන්සේලා සහ නිධන් වස්තු තැන්පත් කිරීමේ
පුණ්‍ය මහෝත්සවය පිළිබඳ විශේෂ සාකච්ඡාවක් පැවැත්වේ

පෙබරවාරි 18, 2025

නීලගිරි මහා සෑයේ ප්‍රතිසංස්කරණ කටයුතුවල තවත් එක් අදියරක් ලෙස එහි ධාතු ගර්භයේ සර්වඥ ධාතුන් වහන්සේලා සහ නිධන් වස්තු තැන්පත් කිරීමේ මහා පිංකම වර්ෂ 2025 ක් වූ මාර්තු මස 04 වන දින පැවැත්වීමට මේවන විට කටයුතු සංවිධානය කරමින් පවතී.

ඒ සඳහා වන පෙර සුදානම පිළිබඳ විශේෂ සාකච්ඡාවක් ආරක්‍ෂක ලේකම් එයාර් වයිස් මාර්ෂල් සම්පත් තුයියකොන්තා (විශ්‍රාමික) ගේ ප්‍රධානත්වයෙන් අද (පෙබ 18) දින ආරක්‍ෂක අමාත්‍යංශයේදී පැවැත්විණ.

එහිදී මුලික වශයෙන් සර්වඥ ධාතූන් වහන්සේලා සහ නිධන් වස්තු තැන්පත් කිරීමේ උත්සවයට අදාල කටයුතු සාකච්ඡාවට ලක් වූ අතර, එම ප්‍රතිසංස්කරණ කටයුතුවල වත්මන් ප්‍රගතිය සහ ඉදිරි වැඩකටයුතු ක්‍රමවත්ව ක්‍රියාත්මක කලයුතු ආකාරය පිළිබඳව ද විමසීමක් සිදු කෙරිණ.

නීලගිරි සෑය නැගෙනහිර පළාතේ විශාලතම බෞද්ධ ස්තූපය ලෙස සැලකෙන අතර, මෙම ආගමික ස්ථානය ත්‍රස්තවාදීන්ගේ ක්‍රියාකාරකම් හේතුවෙන් දශක තුනකට අධික කාලයක් කිසිවෙකුගේ අවධානයට ලක් නොවී අත්හැර දමා තිබුණි. මෙම චෛත්‍යය පෙර පැවති ශ්‍රී විභූතිය නැවත ලබා ගැනීම සඳහා ප්‍රතිසංස්කරණය කිරීමේ අවශ්‍යතාවය හඳුනා ගනිමින් පසුගිය වර්ෂයේ එහි ප්‍රතිසංස්කරණ කටයුතු යලි ආරම්භ කෙරිණ.

නා උයන විහාරාධිපති පූජ්‍ය අඟුල්ගමුවේ අරියනන්ද හිමි, නා උයන විහාරස්ථානයේ සම්බන්ධිකාරක ආචාර්ය නාලක ලංකාසේන, ශ්‍රී ලංකා ගුවන් හමුදා නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධානි එයාර් වයිස් මාර්ෂල් චමින්ද වික්‍රමරත්න සහ ජ්‍යෙෂ්ඨ ගුවන් හමුදා නිලධාරීන් සහ ආරක්‍ෂක අමාත්‍යංශයේ හමුදා සම්බන්ධතා නිලධාරී ද මෙම සාකච්ඡාව සඳහා එක්ව සිටියහ.