ඕස්ට්‍රේලියානු රජය වෙතින් ශ්‍රී ලංකාවේ ජල ශාස්ත්‍රීය හැකියාවන් ශක්තිමත් කිරීම
වෙනුවෙන් නොගැඹුරු ජලයේ සමීක්‍ෂණ කිරීමේ යන්ත්‍රයක් ලබාදෙයි
පෙබරවාරි 19, 2025
ශ්‍රී ලංකාවේ ජල ශාස්ත්‍රීය හැකියාවන් වර්ධනය කිරීම වෙනුවෙන්, ඔස්ට්‍රේලියානු රජය විසින් ශ්‍රී ලංකා නාවික හමුදා ජල ශාස්ත්‍රීය සේවාව වෙත නවීනතම නොගැඹුරු ජලයේ සමීක්‍ෂණ කටයුතු සඳහා භාවිතා කරනු ලබන Shallow Water Multi-Beam Echo Sounder යන්ත්‍රයක් නිල වශයෙන් භාරදීම, අද (2025 පෙබරවාරි 18) කොළඹ වරායේ ශ්‍රී ලංකා නාවික නෞකා රංගල ආයතන පරිශ්‍රයේදී ශ්‍රී ලංකාවේ ඕස්ට්‍රේලියානු මහ කොමසාරිස් ගරු Paul Stephens මහතා සහ නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් කාන්චන බානගොඩ ගේ ප්‍රධානත්වයෙන් සිදුකෙරිණි.
ඒ අනුව, ශ්‍රී ලංකා නාවික හමුදාවේ ජලශාස්ත්‍රිය සේවාව මඟින් ජාත්‍යන්තර පරිහරනය සඳහා නිර්මාණය කරනු ලබන නාවික සිතියම් / ඉලෙක්ට්‍රොනික සිතියම් සඳහා අවශ්‍ය නිරවද්‍ය ජල ශාස්ත්‍රීය සමීක්‍ෂණ සිදු කිරීම වෙනුවෙන් සහ ශ්‍රී ලංකා නාවික හමුදාවේ ජල ශාස්ත්‍රීය හැකියාවන් පුළුල් කිරීම වෙනුවෙන් ඔස්ට්‍රේලියානු රජය වෙතින් ශ්‍රී ලංකා නාවික හමුදාව වෙත ලබාදෙන ලද මෙම Multi Beam Echo Sounder යන්ත්‍රය මඟින් ආරක්‍ෂිත නාවික ගමනාගමනය සඳහා අවශ්‍ය නාවික සිතියම් / ඉලෙක්ට්‍රොනික සිතියම් නිරවද්‍ය දත්ත පදනම් කරගනිමින් ඉහල ගුණාත්මක භාවයකින් යුතුව නිෂ්පාදනය කිරීමට හැකියාව ලැබෙනු ඇත.
මෙම Shallow Water Multi-Beam Echo Sounder යන්ත්‍රය ශ්‍රී ලංකා නාවික හමුදාව වෙත ලබාදීමේ උත්සවයේදී ප්‍රථමයෙන් අදහස් දැක්වූ නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් කාන්චන බානගොඩ, මෙම අමිල දායකත්වය වෙනුවෙන් ඕස්ට්‍රේලියානු රජය වෙත ශ්‍රී ලංකා රජය වෙනුවෙන් සිය බලවත් කෘතඥතාව පළකරන බව පවසන ලදී. එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ නාවික හමුදාධිපති ඉහළ තාක්‍ෂණික හැකියාවකින් යුත් ජල ශාස්ත්‍රීය සමීක්‍ෂණ උපකරණයක් ලැබීම ශ්‍රී ලංකාවේ ජාත්‍යන්තර සමුද්‍ර ආරක්‍ෂණ බැඳීම් සමඟ සමපාත වන බවත්, ශ්‍රී ලංකා ජල ශාස්ත්‍රීය ක්‍ෂේත්‍රයේ සංවර්ධනයේ නව යුගයක් සනිටුහන් කරන බවත් ප්‍රකාශ කරන ලදී. මෙම අති නවීන තාක්‍ෂණය මගින් ජල ශාස්ත්‍රීය සමීක්‍ෂණ කටයුතු වල කාර්යක්‍ෂමතාව ඉහළ නැංවෙන බවත්, ඉහළ නිරවද්‍යතාවයකින් යුත් නාවික සිතියම් නිෂ්පාදනයට එමඟින් විශාල දායකත්වයක් ලැබෙන බවත්, ශ්‍රී ලංකාවේ මුහුදු සීමාව තුළ සමුද්‍රීය මෙහෙයුම් සඳහා විශාල පිටුවහලක් එමඟින් ලැබෙන බවත්, ශ්‍රී ලංකා නාවික හමුදාවට ලැබුණු මෙම ප්‍රථම Shallow water Multi-Beam Echo Sounder යන්ත්‍රය තුලින්, ජල ශාස්ත්‍රීය මෙහෙයුම් කෙරෙහි පරිවර්ථනීය බලපෑමක් සිදුකරමින් නොගැඹුරු ජලයේ දත්ත රැස් කිරීමේ හැකියාව සමඟින්, වරාය, වෙරළ කලාප සහ තීරණාත්මක ජල මාර්ග සමීක්‍ෂණය කිරීම සඳහා ශ්‍රී ලංකාවට ඇති හැකියාව සැලකිය යුතු ලෙස වැඩිදියුණු වනු ඇති බවත් පවසන ලදී.
මෙමඟින් ජාතික ජල ශාස්ත්‍රීය සේවාව වෙත ප්‍රතිලාභ හිමිවනවා පමණක් නොව, ශ්‍රී ලංකාවේ ජාතික ජල ශාස්ත්‍රීය රාමුව සහ කලාපීය සමුද්‍ර කටයුතු සම්බන්ධයෙන් එහි ස්ථාවරය වඩාත් ශක්තිමත් කරනු ඇති බවත් පැවසූ නාවික හමුදාධිපති, ශ්‍රී ලංකාවේ සමුද්‍රීය වසම් පිළිබඳ දැනුවත්භාවය සංවර්ධනය සඳහා මෙන්ම ශ්‍රී ලංකා නාවික හමුදා පුද්ගලයන් පුහුණුකිරීමේ කටයුතු වෙනුවෙන් ඕස්ට්‍රේලියාව වෙතින් ලැබෙන අඛණ්ඩ සහයෝගයද නාවික හමුදාධිපති විසින් අගය කරන ලදි. සමුද්‍රීය මෙහෙයුම් හැකියාවන් වර්ධනය කිරීම සඳහා ඔස්ට්‍රේලියාව වෙතින් මීට පෙර ලබාදී ඇති රත්නදීප සහ මිහිකත යාත්‍රා පිළිබඳව සිහිපත් කල නාවික හමුදාධිපති, ඕස්ට්‍රේලියානු රජයේ මෙම නවතම දායකත්වය දෙරට අතර පවත්නා චිරස්ථායි මිත්‍රත්වය සහ සහයෝගීතාවයත්, ආරක්‍ෂිත නාවික ගමනාගමනය, තිරසාර සමුද්‍ර සම්පත් කළමනාකරණය සහ වැඩිදියුණු කළ කලාපීය සමුද්‍රීය ආරක්‍ෂාව සඳහා වූ දෙරටේ හවුල්කාරීත්වයත් පිළිබිඹු කරනු ලබන බව පවසන ලදී.
එමෙන්ම, ශ්‍රී ලංකාවේ ඕස්ට්‍රේලියානු මහකොමසාරිස් වරයා විසින් උත්සව සභාව ඇමතීමෙන් අනතුරුව, රාජකීය ඕස්ට්‍රේලියානු නාවික හමුදා ජල ශාස්ත්‍රීය විද්‍යාපිඨයේ මූලික ජල ශාස්ත්‍රීය මිණුම් පාඨමාලවේ දක්‍ෂතම නාවිකයාට හිමි සම්මානය දිනාගත් බලනැවි ආර්බිජී චින්තක නාවිකයාගේ දක්‍ෂතාවය ඇගයීම වෙනුවෙන් තිළිණයක් ප්‍රදානය කිරීම සිදු කෙරිණි.
ශ්‍රී ලංකාවේ ඕස්ට්‍රේලියානු මහකොමසාරිස් වෙතින් නාවික හමුදාධිපති වෙත Shallow water Multi-Beam Echo Sounder යන්ත්‍රය නිල වශයෙන් භාරදීමෙන් අනතුරුව, නාවික හමුදා ජල ශාස්ත්‍රීය සේවාවේ පි 267 යාත්‍රාවේ සවිකර ඇති Shallow water Multi-Beam Echo Sounder යන්ත්‍රයේ මෙහෙයුම් ක්‍රියාකාරීත්වය නිරීක්‍ෂණය කිරීමද ඕස්ට්‍රේලියානු මහකොමසාරිස් සහ නාවික හමුදාධිපති විසින් සිදුකෙරිණි.
ශ්‍රී ලංකා ජල ශාස්ත්‍රීය කාර්යාලයේ ප්‍රධානී හා දකුණු නාවික විධානයේ ආඥාපති රියර් අද්මිරාල් කෝසල වර්ණකුලසූරිය විසින් සිදුකෙරුණු ස්තුතිය පලකිරීමේ කතාවෙන් අනතුරුව, මෙම අවස්ථාව සනිටුහන් කරමින් සමරු තිළිණ හුවමාරුවක්ද සිදුකෙරිණි.
තවද, මෙම අවස්ථාව සඳහා ශ්‍රී ලංකාවේ ඕස්ට්‍රේලියානු මහකොමසාරිස් කාර්යාලයේ නියෝජ්‍ය මහ කොමසාරිස් ලලිතා කපූර් මහත්මිය, ශ්‍රී ලංකාවේ ඔස්ට්‍රේලියානු මහකොමසාරිස් කාර්යාලයේ ආරක්‍ෂක උපදේශක කර්නල් Amanda Johnston ඇතුළු රාජ්‍ය තාන්ත්‍රික නිලධාරීන්, ජාතික ජල ශාස්ත්‍රීය කවුන්සිලයේ සභාපති රියර් අද්මිරාල් සිසිර ජයකොඩි (විශ්‍රාමික), නාවික හමුදා මාණ්ඩලික ප්‍රධානී රියර් අද්මිරාල් ඩේමියන් ප්‍රනාන්දු, බටහිර නාවික විධානයේ ආඥාපති රියර් අද්මිරාල් චන්දිම සිල්වා, නාවික හමුදා කළමනාකරණ මණ්ඩලයේ ජ්‍යේෂ්ඨ නිලධාරීන්, නාවික හමුදා ජල ශාස්ත්‍රීය සේවාවේ ජ්‍යේෂ්ඨ හා කනිෂ්ඨ නිලධාරීන් ඇතුළු නාවික හමුදා පුද්ගලයන් පිරිසක් සහභාගී වී සිටියහ.
අනුග්‍රහය - news.navy.lk