Clean Sri Lanka වැඩසටහන යටතේ දීපව්‍යාප්තව පාසල් 1000ක් පිරිසිදු කිරීමේ
වැඩසටහනට ත්‍රිවිධ හමුදාවේ සහාය

පෙබරවාරි 20, 2025

ගරු ජනාධිපතිතුමා ප්‍රමුඛ රජය විසින් ක්‍රියාත්මක කරනු ලබන "Clean Sri Lanka" වැඩසටහන යටතේ තවත් එක් අදියරක් වශයෙන් මෙම වසරේ (2025) පෙබරවාරි හා මාර්තු මාස තුලදී දීපව්‍යාප්තව තෝරාගත් පාසල් 1000 ක පාසල් පරිශ්‍රයන් පිරිසිදු කිරීමේ හා අබලන් වී ඇති ඩෙස්පුටු ඇතුළු පාසල් උපකරණ අලුත්වැඩියා කිරීමේ වැඩසටහනක් ආරක්‍ෂක අමාත්‍යාංශයේ පූර්ණ අධීක්‍ෂණය යටතේ ක්‍රියාත්මක කිරීමට සැලසුම් කොට ඇත.

"රට හදන පරපුරක - වෙමුද අපි මුල් පුරුක" යන තේමාව යටතේ ක්‍රියාත්මක මෙම ව්‍යාපෘතිය, අදාළ පාස‍ල්වල විදුහල්පතිවරුන් ඇතුළු පාසල් ප්‍රජාවගේ මුලිකත්වයෙන් සිදුකරනු ලබයි.

ත්‍රිවිධ හමුදා සාමාජිකයන් විසින් ඒ සඳහා අවශ්‍ය ශ්‍රමදායකත්වය හා තාක්‍ෂණික දැනුම ලබාදීමට කටයුතු කරනු ඇත.

එහි පළමු අදියර යටතේ දිවයිනේ විවිධ ප්‍රදේශ නියෝජනය වන පරිදි තෝරා ගනු ලැබූ පාසල් 200ක ප්‍රතිසංස්කරණ කටයුතු සිදුකිරීමට නියමිත අතර, අද (පෙබ 20) දින එහි සමාරම්භය සනිටුහන් කරමින් ශ්‍රී ලංකා යුද හමුදා සාමාජිකයන්ගේ සහභාගීත්වයෙන් බප/හෝ ඉළුක්ඕවිට ප්‍රාථමික විද්‍යාලයේදී ද, ශ්‍රී ලංකා නාවික හමුදා සාමාජිකයන්ගේ සහභාගීත්වයෙන් බප/කො මෝදර ආනන්ද මධ්‍ය මහා විද්‍යාලයේදී ද, ශ්‍රී ලංකා ගුවන් හමුදා සාමාජිකයන්ගේ සහභාගීත්වයෙන් බප/කො මහවත්ත ශාන්ත අන්තෝනි සිංහල විද්‍යාලයේදී ද, ව්‍යාපෘතියේ කටයුතු ආරම්භ කෙරිණ.

මෙම අවස්ථාවන්ට ත්‍රිවිධ හමුදාපතිවරුන්, "Clean Sri Lanka" වැඩසටහනේ කාර්යය සාධක බලකායේ නිලධාරීන්, ජ්‍යෙෂ්ඨ හමුදා නිලධාරීන් පිරිසක් ද සහභාගී වූ අතර, හමුදා සාමාජිකයන් මෙන්ම, එම පාසල්වල විදුහල්පතිවරු ඇතුළු කාර්ය මණ්ඩලය, පාසල් දරුවන් හා ඔවුන්ගේ දෙමව්පියන්ගේ පුර්ණ සහභාගීත්වයෙන් මෙම ව්‍යාපෘති ආරම්භ කෙරිණ.