සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයන්ට එරෙහිව නීතිය දැඩිව ක්‍රියාත්මක කිරීමට ආරක්‍ෂක අමාත්‍යංශයේ පුර්ණ සහයෝගය - ආරක්‍ෂක ලේකම්
පෙබරවාරි 22, 2025- "නිත්‍යානුකුල නොවන පරිදි නිකුත් කොට තිබු ගිනිඅවි නැවත පවරා ගැනීමේ කටයුතු අඛණ්ඩව ඉදිරියට"
පසුගිය දිනවල දිවයින පුරා සිදු වූ සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයන්ගේ ක්‍රියාකාරකම්වලට එරෙහිව රජය විසින් ක්‍රියාත්මක කරන වැඩපිළිවෙල පිලිබඳ දැනුවත් කිරීමේ විශේෂ මාධ්‍ය සාකච්ජාවක් ආරක්‍ෂක ලේකම් එයාර් වයිස් මාර්ෂල් සම්පත් තුයියකොන්තා (විශ්‍රාමික) ගේ සහභාගිත්වයේ අද (පෙබ. 22) දින පෙරවරුවේ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ දී පැවැත්විණ.
එහිදී අදහස් දක්වමින් ආරක්‍ෂක ලේකම්වරයා ප්‍රකාශ කලේ, පසුගිය දින වල නිරීක්‍ෂණය වූ සංවිධානාත්මක අපරාධ කල්ලි වල අභ්‍යන්තර ගැටුම් හා අපරාධ ක්‍රියාකාරකම් දශක කිහිපයක් මුළුල්ලේ ඔවුන් දේශපාලන රැකවරණය සහිතව පෝෂණය වීමේ ප්‍රතිඵල බවයි. වත්මන් රජය යටතේ ඔවුන්ට කිසිදු අනුබලයක් නොලැබෙන බවත්, මෙම ක්‍රියාකාරකම් මැඬලීමට මෙන්ම ඒවාට සම්බන්ධ පුද්ගලයන්ට එරෙහිව කඩිනමින් හා දැඩිව නීතිය ක්‍රියාත්මක කරන බවත් ඔහු එහිදී අවධාරණය කළේය.
එමෙන්ම රජයේ උපදෙස් පරිදි ආරක්‍ෂක අමාත්‍යංශයේ මුලිකත්වයෙන් හා ත්‍රිවිධ හමුදාවේ මැදිහත්වීමෙන් නිත්‍යානුකුල නොවන පරිදි පුද්ගල ආරක්‍ෂාව සඳහා නිකුත් කොට තිබු ගිනිඅවි සම්බන්ධයෙන් මේ වනවිට ක්‍රමවත් විගණනයක් සිදුකෙරෙන බවත්, ඒ ඔස්සේ අදාල ගිනිඅවි නැවත ආරක්‍ෂක අමාත්‍යංශය වෙත භාර දීම සඳහා මහජනතාව වෙත නිකුත් කල නිවේදන ඔස්සේ ඉතා සුළු ප්‍රමාණයක් හැර ඉතිරි ගිනිඅවි සියල්ල මේ වනවිට නැවත ආරක්‍ෂක අමාත්‍යංශය වෙත භාර දී ඇති බවත් ප්‍රකාශ කළේය. ඒ අනුව දැනට සමාජය තුල ඇති වී තිබෙන මෙම ව්‍යාකුල තත්වය ඉදිරියේදී මුළුමනින්ම පහව යනු ඇති බවත් මින් ඉදිරියට පුද්ගල ආරක්‍ෂාව හෝ වෙනත් හේතුන් මත අනීතික අයුරින් කිසිඳු ගිනි අවියක් නිකුත් නොකරන බවත් තහවුරු කළේය.
එහිදී හමුදා සේවය හැරගිය පුද්ගලයන් අපරාධවලට සම්බන්ධ වීමේ ප්‍රවණතාවක් ඇති බව දක්වමින් මාධ්‍යවේදියෙකු නැගූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් ආරක්‍ෂක ලේකම්වරයා ප්‍රකාශ කලේ, වාර්තා වූ අපරාධ වලට සම්බන්ධ වූ එවැනි බොහෝ හමුදා සාමාජිකයන් අවි පුහුණුව ලැබීමෙන් ඉතා කෙටි කාලයකින් හමුදා සේවයෙන් නිත්‍යානුකුල නොවන ලෙස ඉවත් වූ හෝ ඉවත් කල පුද්ගලයන් ලෙස හඳුනාගෙන ඇති බවත් පොලිස් දෙපාර්තමේන්තුවේ ද සහය ඇතිව ඔවුන් අත්අඩංගුවට ගැනීමට අවශ්‍ය ක්‍රියාමාර්ග ගනු ලබන බවත්ය.
මෙම අවස්ථාවට මහජන ආරක්‍ෂක අමාත්‍යංශයේ ලේකම් ඩී.ඩබ්.ආර්.ඩි. සෙනෙවිරත්න මහතා, වැඩ බලන පොලිස්පති ප්‍රියන්ත වීරසුරිය සහ මාධ්‍යවේදීන් පිරිසක් ද සහභාගී විය.