ගුවන් හමුදා සහායෙන් නල්ලතන්නි රක්‍ෂිතයේ ඇති වූ
ගින්න සාර්ථකව මැඩපවත්වයි

පෙබරවාරි 25, 2025

නුවරඑළිය දිස්ත්‍රික්කයේ මස්කෙලිය නල්ලතන්නිය වාලමලේ ඉහල ප්‍රදේශ රක්‍ෂිතයේ ඊයේ දින (පෙබ 24) ඇති වු හදිසි ගින්නක් මැඩ පැවැත්විම සඳහා ශ්‍රී ලංකා ගුවන් හමුදා අංක 04 බළඝණයට අයත් බෙල් 412 වර්ගයේ හෙළිකොප්ටර් යානාවක් ගිණි නිවීම සඳහා විශේෂයෙන් භාවිතා කරනු ලබන බම්බි බකට් උපාංගය සමඟ යොදවා ඇත.

ඊයේ පස්වරුවේ ඇති වූ මෙම හදිසි ගින්න මැඩපැවැත්වීමට සහාය දෙන ලෙස ආපදා කළමණාකරන මධ්‍යස්ථානය, ශ්‍රී ලංකා ගුවන් හමුදාවෙන් කළ ඉල්ලීමකට අනුව ආරක්‍ෂක ලේකම් එයාර් වයිස් මාර්ෂල් සම්පත් තුයියකොන්තා (විශ්‍රාමික) ගේ උපදෙස් මත රත්මලාන ගුවන් හමුදා කඳවුරට අයත් බෙල් 412 වර්ගයේ හෙළිකොප්ටර් යානාවක් මේ සදහා යොදවන ලදි.

මෙම හෙළිකොප්ටර් යානාව මඟින් ගින්න ඇති වු ස්ථානයට ආසන්නතම ජලාශය වන මාඋස්සා කැ‍ළේ ජලාශයෙන් බම්බි බකට් ආධාරයෙන් අවස්ථා 10 කදි ජලය රැගෙන ගින්න ඇති වු ස්ථානයට සාර්ථකව හෙළිම සිදුකර ගින්න සාර්ථකව මැඩ පවත්වා ඇත.

මෙම ඇතිවූ හදිසි ගින්න හමුවේ ආරක්‍ෂක අමාත්‍යාංශය, ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය හා ශ්‍රී ලංකා ගුවන් හමුදාව ඉතා ඉක්මනින් ක්‍රියාත්මක වීම නිසා සිදුවීමට ගිය විශාල ව්‍යයසනයක් වළක්වා ගැනීමට හැකි විය. එමෙන්ම, රටේ ඇති වන ඕනෑම හදිසි තත්ත්වයකදී ඒ සදහා සහාය දීමට ආරක්‍ෂක අමාත්‍යාංශය, ආපදා කළමණාකරන මධ්‍යස්ථානය හා ත්‍රිවිධ හමුදාව ඇතුළු අනෙකුත් සියලුම අංශ සූදානමින් සිටින බවද ආරක්‍ෂක අමාත්‍යාංශය අවධාරණය කරයි.