ආපදාවන්ට ඔරොත්තුදීමේ හැකියාවන් ඉහළ නැංවීම සඳහා
ස්ථිරසාර විසඳුම් අත්‍යවශ්‍ය වේ - නියෝජ්‍ය ආරක්‍ෂක අමාත්‍ය
පෙබරවාරි 27, 2025
ආපදාවන්ට ඔරොත්තුදීමේ හැකියාව ඉහළ නැංවීම සඳහා අවශ්‍ය කෙරෙන ස්ථිරසාර උපාය මාර්ගික විසඳුම් සහ ක්‍රියාමාර්ග ක්‍රියාත්මක කිරීමට රජය කැපවී සිටින බව නියෝජ්‍ය ආරක්‍ෂක අමාත්‍ය මේජර් ජෙනරල් අරුණ ජයසේකර (විශ්‍රාමික) අවධාරණය කළේය. ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානයේ 14 වන වාර්ෂික පර්යේෂණ සම්මන්ත්‍රණය පෙබරවාරි 25 දින තලවතුගොඩ Grand Monarch හෝටල් පරිශ්‍රයේ දී පැවැත්වුණු අතර, එහි ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස සහභාගී වෙමින් ඔහු එම අදහස් පළ කලේය.
ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය විසින් සංවිධානය කරන ලද මෙම සම්මන්ත්‍රණයේ සමාරම්භක උත්සවය අමතමින් නියෝජ්‍ය අමාත්‍යවරයා තවදුරටත් ප්‍රකාශ කලේ ආපදා සම්බන්ධ අභියෝගයන්ට ඵලදායී අයුරින් මුහුණදීම සඳහා නුතන තාක්‍ෂනය ඔස්සේ ඩිජිටල්කරණය කරන ලද විසඳුම් සහ නව්‍ය මුලපිරීම් ඒකාබද්ධ කිරීම වැදගත් වන බවයි.
"Smart Solutions for Built Environment Resilience." යන තේමාව ඔස්සේ පැවති මෙවර සමුළුවට ආරක්‍ෂක ලේකම් එයාර් වයිස් මාර්ෂල් සම්පත් තුයියකොන්තා (විශ්‍රාමික) ගෞරවනීය ආරාධිත අමුත්තා ලෙස සහභාගි විය.
ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානයේ අධ්‍යක්‍ෂ ජනරාල් ඉංජිනේරු (ආචාර්ය) ආසිරි කරුණාවර්ධන මහතා විසින් පිළිගැනීමේ දේශනය පැවැත්වීමෙන් මෙම සම්මන්ත්‍රණයේ කටයුතු ආරම්භ විය. ඉන් අනතුරුව ජපාන ජාත්‍යන්තර සහයෝගිතා නියෝජිතායතනයේ (JICA) ශ්‍රී ලංකා කාර්යාලයේ ප්‍රධාන නියෝජිත Yamada Tetsuya මහතා විසින් ආරාධිත දේශනයක් පවත්වන ලදී.
සම්මන්ත්‍රණයට සමගාමීව මෙවර තේමාවට අනුගත වන නවෝත්පාදනයන් ප්‍රදර්ශනාත්මක ලෙස එළිදැක්වීම් සහ ඒවාට අදාළ ආදර්ශනයන් ද සිදු කෙරුණු අතර, ඇතිවිය හැකි ආපදාවන්ට සාර්ථකව මුහුණදීම සඳහා අවශ්‍ය ආරක්‍ෂිත පසුබිමක් සහ වඩාත් තිරසාර පරිසරයක් පෝෂණය කිරීම සඳහා වන රජයේ කැපවීම මෙම සම්මන්ත්‍රණය ඔස්සේ තවදුරටත් තහවුරු කරයි.
මුදල්, ක්‍රමසම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍යාංශයේ භාණ්ඩාගාර නියෝජ්‍ය ලේකම් අජිත් අබේසේකර මහතා විසින් “Built-Environment Resilience and Economic Prosperity.” යන තේමාව ඔස්සේ ප්‍රධාන දේශනය පවත්වන ලදී.
ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානයේ වාර්ෂික පර්යේෂණ සම්මන්ත්‍රණය, එහි නවතම පර්යේෂණ සහ සංවර්ධන මුලපිරීම් එලිදැක්වීමට අවස්ථාව සැලසෙන වේදිකාවක් ලෙස කටයුතු කරන අතරම, ඒ ඔස්සේ ක්ෂේත්‍රයේ දියුණුව සඳහා කැපී පෙනෙන අන්දමින් දායකත්වය දක්වන පාර්ශ්වයන් හඳුනා ගැනීමට ද, අවස්ථාව සලසා දෙනු ලබයි. සම්මන්ත්‍රණය අතරතුර, පසුගිය වසරේ පර්යේෂණ ව්‍යාපෘතිවල ජයග්‍රාහකයින් වෙත ඔවුන්ගේ ජයග්‍රහණ වෙනුවෙන් ත්‍යාග ප්‍රදානය හා උපහාර දැක්වීම ද සිදු කරන ලදී.
"Smart Solutions for Built Environment Resilience" යන තේමාව ඔස්සේ පැවති මෙම සම්මන්ත්‍රණය මොරටුව විශ්වවිද්‍යාලයේ සිවිල් ඉංජිනේරු අංශ ප්‍රධානී මහාචාර්ය උදේනි නවගමුව විසින් මෙහෙයවනු ලැබීය. තවද, මීට අදාළව තාක්‍ෂණික කරුණු සාකච්ජා කිරීම සඳහා සැසි වාර තුනක් පවත්වන ලද අතර, එහිදී ක්‍ෂේත්‍රයේ විශේෂඥයින් විසින් ආපදා ඔරොත්තුදීමේ හැකියාව සම්බන්ධ විවිධ පර්යේෂණ සොයාගැනීම් හා ඊට සම්බන්ධ කරුණු ඉදිරිපත් කලහ.
රාජ්‍ය හා පෞද්ගලික අංශයේ විවිධ ආයතන, අධ්‍යයන ආයතන, වෘත්තීය ආයතන සහ ජාත්‍යන්තර මෙන්ම, කලාපීය හවුල්කාර ආයතන රැසක නියෝජිතයින් සහ විෂයානුබද්ධව කටයුතු කරන විශේෂඥයින් ඇතුළු විශාල පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.