දකුණු ආසියානු ප්‍රවීණයන්ගේ මලල ක්‍රීඩා තරඟාවලියේදී ජයග්‍රහණ ලබාගත්
සිවිල් ආරක්‍ෂක දෙපාර්තමේන්තු සාමාජිකයන් ඇගයීමට ලක් කෙරේ

පෙබරවාරි 28, 2025

ඉන්දියාවේ බැංගලෝර් හි පසුගිය ජනවාරි 10 වන දින සිට 12 වන දින දක්වා පැවති දකුණු ආසියානු ප්‍රවීණයන්ගේ මලල ක්‍රීඩා තරඟාවලියේදී ජයග්‍රහණ ලබාගත් සිවිල් ආරක්‍ෂක දෙපාර්තමේන්තුවේ සාමාජිකයන් ඇගයීමේ උත්සවයක් පෙබරවාරි 18 වන දින සිවිල් ආරක්‍ෂක දෙපාර්තමේන්තුවේ අධ්‍යක්‍ෂ ජනරාල් මේජර් ජෙනරල් කේඑච්පීපී ප්‍රනාන්දු (විශ්‍රාමික) ගේ ප්‍රධානත්වයෙන් එම මූලස්ථාන පරිශ්‍රයේදී පැවැත්විණ.

ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ඊට සහාභාගී වූ ක්‍රීඩක ක්‍රීඩිකාවන් අතුරින් සිවිල් ආරක්‍ෂක දෙපාර්තමේන්තුවේ සාමාජික සාමාජිකාවන් විවිධ ක්‍රීඩා ඉසව් රාශියක් ඔස්සේ රන් පදක්කම් 13ක්, රිදී පදක්කම් 07ක් සහ ලෝකඩ පදක්කම් 06ක් දිනා ගැනීමට සමත් වූහ.

ජයග්‍රහණ ලබාගත් ක්‍රීඩක ක්‍රීඩිකාවන් වෙත සිවිල් ආරක්‍ෂක දෙපාර්තමේන්තුවේ අධ්‍යක්‍ෂ ජනරාල්වරයා සිය සුභාශිංසන එක් කල අතර එහිදී ඔවුන් ලබාගත් ජයග්‍රහණ ඇගයීමේ අරමුණින් මුල්‍ය පරිත්‍යාග පිරිනැමීම මෙන්ම ඉදිරි ක්‍රීඩා කටයුතු වෙනුවෙන් ඔවුන් දිරිගැන්වීම ද සිදු කරනු ලැබිය.

මෙම අවස්ථාවට සිවිල් ආරක්‍ෂක දෙපාර්තමේන්තු අධ්‍යක්‍ෂ මණ්ඩලයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, නියෝජ්‍ය අධ්‍යක්‍ෂවරුන්, මාණ්ඩලික හා දිස්ත්‍රික් නිලධාරීන් ඇතුළු සිවිල් ආරක්‍ෂක දෙපාර්තමේන්තුවේ සාමාජිකයන් රැසක් සහභාගී වුහ.