බංග්ලාදේශයේ ඩකා හි පැවති කලාපීය සමුළුවේදී කර්නල් නලින් හේරත්
දේශගුණික ආරක්‍ෂාව පිළිබඳ දේශනයක් ඉදිරිපත් කරයි

පෙබරවාරි 28, 2025

බංග්ලාදේශයේ ඩකා හි "Renaissance" හෝටල් පරිශ්‍රයේ දී "Droughts, Floods and Fault Lines: Climate Security in South Asia" තේමාව ඔස්සේ පසුගියදා පැවති කලාපීය සමුළුවේදී ජාතික ආරක්‍ෂක අධ්‍යයන ආයතනයේ වැඩබලන අධ්‍යක්‍ෂ ජනරාල් සහ අධ්‍යක්‍ෂ (පර්යේෂණ) මෙන්ම ආරක්‍ෂක අමාත්‍යාංශයේ මාධ්‍ය අධ්‍යක්‍ෂ සහ මාධ්‍ය ප්‍රකාශක කර්නල් නලින් හේරත් විසින් විශේෂ දේශනයක් ඉදිරිපත් කළේය. යුරෝපා සංගමයේ ද සහයෝගයෙන්, බංග්ලාදේශයේ සාමය සහ ආරක්‍ෂක අධ්‍යයන ආයතනය විසින් පෙබරවාරි 24-25 යන දින වලදී මෙම සමුළුව පවත්වනු ලැබිණ.

දේශගුණික විපර්යාස සහ කලාපීය ආරක්‍ෂාව සම්බන්ධයෙන් අතිශය වැදගත් වන කරුණු රාශියක් සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා ශ්‍රී ලංකාව, නේපාලය, භූතානය, පාකිස්ථානය, ඉන්දියාව සහ බංග්ලාදේශය යන දකුණු ආසියාතික රටවල් හයක ප්‍රතිපත්ති සම්පාදකයින්, විශේෂඥයින් සහ ප්‍රධාන පාර්ශ්වකරුවන් ඇතුළු ජ්‍යෙෂ්ඨ නිලධාරීන් බොහෝ පිරිසක් මෙම අවස්ථාවට එක් වූහ.

"Powering Peace: Renewable Energy for Climate Security in South Asia," තේමාව ඔස්සේ දේශගුණික විපර්යාස ආමන්ත්‍රණය කිරීම සඳහා සැලකිය යුතු මුලික කරුණු පිලිබඳ අවධාරණය කරමින් කර්නල් හේරත් සිය දේශනය ඉදිරිපත් කළේය. ඊට අදාලව ඔහු මිශ්‍ර මූල්‍ය ආකෘති භාවිතය, කාර්ය සාධනය පදනම් වූ ගෙවීම් යාන්ත්‍රණ, දේශගුණික හා හරිතාශ්‍රිත සබඳතා, රාජ්‍ය - පෞද්ගලික හවුල්කාරිත්වය සහ බලශක්ති සේවා ආකෘතිය යනාදී ක්ෂේත්‍රයන් පිළිබඳව වඩා හරවත් අයුරින් කරුණු ඉදිරිපත් කරමින් විස්තර කළේය. මීට අමතරව, ඔහු දේශසීමා හරහා පුනර්ජනනීය බලශක්ති ජාලයන්හි විභවයන් ව්‍යාප්තිය සහ කලාපීය බලශක්ති ඒකාබද්ධතාවය වැඩි දියුණු කිරීම සඳහා දකුණු ආසියාවේ බලශක්ති සංචිතයක් පිහිටුවීමේ වැදගත්කම පිළිබඳව ද අවධාරණය කළේය.

මෙම සංකල්පයන් ක්‍රියාවට නැංවීමේදී ඇති විය හැකි අභියෝග හඳුනා ගනිමින් විශේෂයෙන් මූල්‍ය හා ආර්ථික සම්බාධක, තාක්‍ෂණික හා යටිතල පහසුකම් සීමාවන්, දේශපාලනික හා නියාමන බාධක මෙන්ම සමාජීය සංස්කෘතික බාධාවන් ආදී පැතිකඩ බොහොමයක් පිළිබඳවද රැස්ව සිටි පිරිසගේ අවධානය යොමු කිරීමට කර්නල් හේරත් මෙහිදී පියවර ගත්තේය. එමෙන්ම දකුණු ආසියානු කලාපය තුළ ස්ථිරසාර සහ සුරක්‍ෂිත බලශක්ති විසඳුම් ඉදිරියට පවත්වාගෙන යාම සඳහා මෙම අභියෝගයන්ට සාර්ථකව මුහුණ දීම අත්‍යවශ්‍ය වන බව ද ඔහු සිය දේශනයේදී අවධාරණය කළේය.

සමුළුවට සහභාගී වූ යුරෝපා සංගම් නියෝජිත කණ්ඩායමෙහි නියෝජ්‍ය ප්‍රධානි Bernd Spanier විසින් මෙම සමුළුව පැවැත්වීමේ වැදගත්කම පිලිබඳ කරුණු ඉස්මතු කරමින් සමුළුවේ සමාරම්භය සනිටුහන් කළේය. දේශගුණය සම්බන්ධයෙන් කලාපීය රටවල් මුහුණදෙන අභියෝග ආමන්ත්‍රණය කිරීමේදී සිවිල් ජන සමාජය සහ ආරක්‍ෂක ආයතන අතර අන්තර් සහයෝගීතාවයේ වැදගත්කම අවධාරණය කරමින් ආරක්‍ෂක හමුදා නියෝජිතයින් ද සමුළුවට එක්ව සිටීම වැදගත් බව ඔහු සඳහන් කළේය.

සමුළුවේදී අදහස් දැක්වූ කථිකයන් අතුරින් බංග්ලාදේශයේ Bangabandhu Sheikh Mujibur Rahman ගුවන් හා අභ්‍යවකාශ විශ්ව විද්‍යාලයේ හිටපු තානාපතිවරයෙකු සහ කීර්තිමත් විද්වතෙකු වන එයාර් වයිස් මාර්ෂල් Mahmud Hussain (විශ්‍රාමික), පාකිස්තානයේ ඉස්ලාම්බාද්හි Quaid-i-Azam විශ්වවිද්‍යාලයේ බාහිර සබඳතා පිළිබඳ මහාචාර්ය සහ අධ්‍යක්‍ෂ, ආචාර්ය Salma Malik, DCAF-Geneva Centre for Security Sector Governance භූතානය හි ආචාර්ය උපාධි පර්යේෂක Lobzang Dorji, ඕස්ට්‍රේලියානු ජාතික විශ්වවිද්‍යාලයේ දකුණු ආසියානු කලාපීය කර්තෘ සහ සහකාර නිලධාරි Bharat Bhushan, බංග්ලාදේශයේ වෘත්තීයවේදීන්ගේ විශ්වවිද්‍යාලයේ ජාත්‍යන්තර සබඳතා අධ්‍යනාංශයේ සහකාර මහාචාර්ය Iffat Anjum, සහ නේපාල යුද හමුදාවේ උපායමාර්ගික විශ්ලේෂක මේජර් ජෙනරල් Binaj Basnyat (විශ්‍රාමික හමුදාපති) සුවිශේෂී වූහ.

බංග්ලාදේශයේ සාමය සහ ආරක්‍ෂක අධ්‍යයන ආයතනයේ සභාපති මේජර් ජෙනරල් ANM Muniruzzaman (විශ්‍රාමික) විසින් සිය සමාරම්භක සහ සමාප්ති ප්‍රකාශයන්හිදී, පුද්ගල අවතැන්වීම් සහ දේශගුණික විපර්යාස යනු දිගුකාලින මෙන්ම අඛණ්ඩ තර්ජන ලෙස දක්වනු ලැබිය. වර්ෂ 2050 වන විට, දේශගුණික සාධක හේතුවෙන් බංග්ලාදේශයේ ජනතාව මිලියන 20 ත් 30 ත් අතර ප්‍රමාණයක් අවතැන් විය හැකි බව ද ඔහු අනතුරු ඇඟවීය.

එබැවින්, දේශගුණික විපර්යාස හේතුවෙන් ඇති වන ආරක්‍ෂක තර්ජන අවම කර ගැනීම සඳහා සාමූහික යාන්ත්‍රණයන් ඇති කිරීම සඳහා මෙන්ම දේශගුණික බලපෑම් වලට ඔරොත්තු දීමේ හැකියාව ඉහල නැංවීම, තිරසාර සංවර්ධනය සහ ජාත්‍යන්තර සහයෝගීතාවය ශක්තිමත් කිරීම සඳහා දායක වන ලෙස ද ඔහු සමුළුවේ පාර්ශවකරුවන් වෙත දැනුම් දී සිටියේය.

දේශගුණික විපර්යාස පිළිබඳ IDC විශ්වවිද්‍යාල සම්මේලනයේ තාක්‍ෂණික ප්‍රධානි Mizan R. Khan, Action Aid සංවිධානයේ බංග්ලාදේශයේ ප්‍රධාන අධ්‍යක්‍ෂ Farah Kabir, East West විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යාව පිළිබඳ සහකාර මහාචාර්ය Parvez Karim Abbasi, බංග්ලාදේශයේ සාමය සහ ආරක්‍ෂක අධ්‍යයන ආයතනයේ ජ්‍යෙෂ්ඨ පර්යේෂණ නිලධාරි Shafqat Munir ඇතුළු සම්භාවනීය වෘත්තිකයන් විසින් සැසි මෙහෙයවන ලදී.

මෙම සමුළුව සඳහා දෙස් විදෙස් ත්‍රිවිධ හමුදා සහ පොලිස් ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, විද්වතුන්, විශ්‍රාමික රාජ්‍යතාන්ත්‍රික නිලධාරීන්, හිටපු සිවිල් සහ හමුදා ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, මාධ්‍යවේදීන් සහ අනෙකුත් පාර්ශ්වකරුවන් රැසකගේ ක්‍රියාකාරී සහභාගීත්වය දක්නට ලැබිණි. ඔවුන්ගේ මෙම දායකත්වය සහ හවුල්කාරීත්වය දකුණු ආසියානු කලාපයේ දේශගුණික ආරක්‍ෂාව පිළිබඳ විවිධ පාර්ශ්වයන්ගේ දැනුම පෝෂණය කරමින් හා දැනුම හුවමාරු කරගනිමින් සාකච්ඡා තවදුරටත් සාරවත් කරනු ලැබිය.