නීලගිරි මහා සෑයේ සර්වඥ ධාතූන් වහන්සේලා සහ නිධන් වස්තු තැන්පත් කිරීමේ පුණ්‍ය මහෝත්සවය උත්සවශ්‍රීයෙන් සිදු කෙරේ
මාර්තු 06, 2025බෞද්ධ සංස්කෘතියේ සුවිශේෂී ස්ථානයකට උරුමකම් කියන ඓතිහාසික නීලගිරි මහා සෑයේ සර්වඥ ධාතූන් වහන්සේලා සහ නිධන් වස්තු තැන්පත් කිරීමේ පුණ්‍ය මහෝත්සවය පසුගියදා (මාර්තු 04 දින) උත්කර්ෂවත් අයුරින් පැවැත්විණි.
අම්පාර ලාහුගල රක්‍ෂිතයේ පිහිටා ඇති නැගෙනහිර පළාතේ විශාලතම මහා දාගැබ ලෙස සැලකෙන නීලගිරි මහා සෑය, මොණරාගල සහ අම්පාර දිස්ත්‍රික්කවලට මායිම්ව සියඹලාණ්ඩුව - පොතුවිල් මාර්ගයේ කිලෝමීටර් 19 ක් දුරින් පිහිටා ඇති අතර, මෙම දාගැබ අඩි 215 ක් උසින් සහ අඩි 104 ක් පළලකින් යුක්ත වේ.
මෙම ඓතිහාසික සෑයේ ධාතු ගර්භයෙහි සර්වඥ ධාතූන් වහන්සේලා සහ නිධන් වස්තු තැන්පත් කිරීමේ පුණ්‍ය මහෝත්සවය ආරක්‍ෂක අමාත්‍යංශයේ හමුදා සම්බන්ධතා නිලධාරී එයාර් වයිස් මාර්ෂල් පීඑන් ද කොස්තා සහ ගුවන් හමුදා නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධානී එයාර් වයිස් මාර්ෂල් චමින්ද වික්‍රමරත්න ගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරිණ.
එහිදී සම්ප්‍රදායානුකුලව හේවිසි පූජා හා රැස්ව සිටි සැදැහැවතුන්ගේ සාධුකාර මධ්‍යයේ සර්වඥ ධාතුන් වහන්සේලා සහ නිධන් වස්තු තැන්පත් කිරීම සිදුකරන ලදී. ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ පූර්ණ ශ්‍රම දායකත්වයෙන් නීලගිරි මහා සෑයේ ප්‍රතිසංස්කරණ කටයුතු සිදුකරනු ලබයි.
ශ්‍රී ලංකා රාමඤ්ඤ නිකායේ මහානායක අතිපූජ්‍ය මකුලෑවේ විමල මහානායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ, නා උයන ආරණ්‍ය සේනාසනාධිපති අතිපූජ්‍ය අගුල්ගමුවේ ආරියනන්ද ස්වාමීන් වහන්සේ, ශ්‍රී ලංකා රාමඤ්ඤ නිකායේ ලේඛකාධිකාරී අතිපූජ්‍ය අත්තනගණයේ සාසනරත්න ස්වාමීන් වහන්සේ, ශ්‍රී කල්‍යාණී යෝග්‍රාශ්‍රම සංඝ සභාවේ සභාපති සහ පොල්ගස්ඕවිට විපස්සනා භාවනා මධ්‍යස්ථානයේ විහාරාධිකාරී අතිපූජ්‍ය මීතලාවේ විනීත ස්වාමීන් වහන්සේ. ඇතුළු ගරුතර මහා සංඝරත්නය, පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ අධ්‍යක්‍ෂ ජනරාල් මහාචාර්ය තුසිත මෙන්ඩිස්, ජ්‍යෙෂ්ඨ ගුවන් හමුදා නිලධාරීන්, සෙසු නිලයින් ඇතුළු විශාල සැදැහැවතුන් පිරිසක් ද, මෙම පුජෝත්සවයට එක්ව සිටියහ.