ආරක්‍ෂක අමාත්‍යාංශ සේවා වනිතා ඒකකය විසින් ‘කාන්තා සාමාජීය හා චිත්තවේගීය
බුද්ධි වර්ධනය’ පිළිබඳ දේශනයක් පවත්වයි

මාර්තු 07, 2025

ආරක්‍ෂක අමාත්‍යාංශයේ සේවා වනිතා ඒකකයේ සභාපතිනී වෛද්‍ය රුවිනි රසිකා පෙරේරා මැතිනියගේ දැක්මට අනුව, ජාත්‍යන්තර කාන්තා දිනය නිමිත්තෙන් ‘කාන්තා සාමාජීය හා චිත්තවේගීය බුද්ධි වර්ධනය’ මැයෙන් දේශනයක් අද (මාර්තු 7) අමාත්‍යාංශ ශ්‍රවණාගාරයේදී පැවැත්විණි.

ත්‍රිවිධ හමුදාවේ කාන්තා නිලධාරිනියන් සහ සෙසුනිළයින් මෙන්ම, ආරක්‍ෂක අමාත්‍යාංශයේ කාන්තා කාර්ය මණ්ඩලය උදෙසා විංග් කමාන්ඩර් ටී.කේ. දමයන්ති (විශ්‍රාමික) විසින් මෙම අර්ථවත් දේශනය සිදුකරන ලදි.
 
මෙම වැඩසටහනට සමගාමීව අමාත්‍යාංශයේ කාර්ය මණ්ඩලයේ සේවයේ නියුතු සාමාජිකයින් දෙදෙනකුගේ දියණියන් වන සාවින්ද්‍යා චේතසී සහ වයි ෂෙනුදි ෂවෙන්යා යන දැරියන්ට ඔවුන් 5 ශ්‍රේණියේ ශිෂ්‍යත්ව විභාගයෙදී දැක්වූ සුවිශේෂී දක්‍ෂතා අගයමින් ශිෂ්‍යත්ව ප්‍රදානය කරන ලදී. මෙම අවස්ථාවට ගෞරවනීය ආරාධිතයන් ලෙස සහභාගි වූ රීනා නොයෙල් මහත්මිය සහ Prime Lands (Pvt) Ltd හි සම නිර්මාතෘ සහ සම සභාපතිනි සඳමිණි පෙරේරා මහත්මියගේ නොමසුරු අනුග්‍රහය මත මෙම ශිෂ්‍යත්ව ප්‍රධානය කරන ලදි.

මීට අමතරව කරාටේ ක්‍රීඩාවෙන් ජාතික මට්ටමින් කැපී පෙනෙන දක්‍ෂතා දැක්වූ 10 වැනි ශ්‍රේණියේ ඉගෙනුම ලබන දිසේනි දිසානායක දියණිය වෙත ද, විශේෂ ශිෂ්‍යත්වයක් පිරිනැමිණි.

සැසියේ සාර්ථකත්වයට දායක වූ ගෞරවනීය සම්පත් දායකයින් වෙත ඇගයීම් සංකේත ප්‍රදානය කිරීම ද, මෙම උත්සවය අවසානයේදී සිදුවිය. ආරක්‍ෂක අමාත්‍යාංශයේ අතිරේක ලේකම් - සිවිල් ආරක්‍ෂක හා සංවර්ධන, ඉන්දිකා විජේගුණවර්ධන මහත්මිය ද, මෙම අවස්ථාවට සහභාගි විය.