නියෝජ්‍ය ආරක්‍ෂක අමාත්‍යවරයා රක්නා ආරක්‍ෂක ලංකා සමාගමේ
නිළ සංචාරයක නිරත වේ

මාර්තු 09, 2025

නියෝජ්‍ය ආරක්‍ෂක අමාත්‍ය මේජර් ජෙනරල් අරුණ ජයසේකර (විශ්‍රාමික) බ්‍රහස්පතින්දා (මාර්තු 6) දින රක්නා ආරක්‍ෂක ලංකා සමාගමේ නිළ සංචාරයක නිරත විය. රජය යටතේ ක්‍රියාත්මක ආරක්‍ෂක සේවා සමාගමක් වන 'රක්නා ආරක්‍ෂක ලංකා සමාගම', ආරක්‍ෂක අමාත්‍යාංශයට අනුබද්ධ ආයතනයක් වේ.

රක්නා ආරක්‍ෂක ලංකා සමාගමේ සභාපති බ්‍රිගේඩියර් ජූඩ් ප්‍රනාන්දු (විශ්‍රාමික) විසින් නියෝජ්‍ය අමාත්‍යවරයා ඉතා උණුසුම් අයුරින් පිළිගනු ලැබීය. සංචාරය අතරතුර, මේජර් ජෙනරල් ජයසේකර සමාගමේ මෙහෙයුම් සහ පරිපාලන රාමුව පිළිබඳව සිය අවබෝධය පුළුල් කර ගැනීම සඳහා අවස්ථාව ලබා ගත්තේය. එහිදී ඔහු සමාගමේ සේවයේ නියුතු සිවිල් සාමාජිකයන් සහ විශ්‍රාමික හමුදා නිලධාරීන් යන දෙපාර්ශ්වයම සමඟ අදහස් හුවමාරු කරගනිමින් ඔවුන් හා සම්බන්ධව කටයුතු කළේය.

බ්‍රිගේඩියර් ප්‍රනාන්දු (විශ්‍රාමික) විසින් සිදුකල ආයතනය පිලිබඳ හඳුන්වාදීමේ ඉදිරිපත් කිරීමෙන් අනතුරුව, නියෝජ්‍ය අමාත්‍යවරයා රක්නා ආරක්‍ෂක ලංකා සමාගමේ කළමනාකරණ මණ්ඩලයේ නිලධාරීන් සමඟින් හරවත් සාකච්ඡාවකට ද සහභාගී විය. ආයතනික වශයෙන් වැදගත් වන ප්‍රධාන මෙහෙයුම් සහ උපායමාර්ගික මුලපිරීම්වලට අදාළ කරුණු කිහිපයක් සම්බන්ධයෙන් දෙපාර්ශවයේ නිලධාරීන් අතර, අදහස් හුවමාරු කර ගැනීමට මෙම සැසිය වේදිකාවක් සපයනු ලැබීය.

ආරක්‍ෂක අමාත්‍යාංශයේ අතිරේක ලේකම් (සිවිල් ආරක්‍ෂක සහ සංවර්ධන), ඉන්දිකා විජේගුණවර්ධන මහත්මිය ද නියෝජ්‍ය අමාත්‍යවරයා සමඟ මෙම සාකච්ඡාවට එක්ව සිටියාය.